brand logo

ලොව පුරා මැරතන් දිව්ව ලංකාවේ හසන්

23 January 2019

‌සෙල්සියස් සෘණ 20ක උෂ්ණත්වයේ ශ්‍රී ලංකාවේ ධාවනයක්

ඇන්ටාටිකාවේ අයිස් මතින් අප්‍රිකාවේ සිංහයන් අතරින්

අප ඉදිරියේ මේ සිටින්නේ ‘වෙඬරු පැහැති යකඩ මිනිසෙකි’. බැලූ බැල්මටම ඔහු මෙතරම් ‘කෙළි කළ’ මිනිසෙකැයි කිව නොහැක. නොමද සැප සම්පත් මැද මලක් සේ හැදී වැඩුණු, කඨෝර බව යන්න වචනයෙන් හෝ නොහඳුනන තරුණයෙකුගේ රුවක් ඔහු දරා සිටියි. නමුත් මේ සිටින්නේ වරෙක ඇන්ටාටිකාවේ සෙල්සියස් අංශක සෘණ 20 (-20) උෂ්ණත්වයේද, තවත් වරෙක අප්‍රිකාවේ අලින් සිංහයන් ගැවසෙන කැළයක් මැදින්ද, තවත් විටෙක ඉන්කාවරුන්ගේ රාජධානිය මැදින්ද ආදී වශයෙන් ලොව මහද්වීප සියල්ලේම කිලෝමීටර 42.2 බැගින් වූ දුරක් සහිත ජාත්‍යන්තර මැරතන් තරග සඳහා සහභාගි වී ඒවා සම්පූර්ණ දුර ගෙවා නිමකරමින් එවැන්නක් සිදුකළ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩකයාය. ලොව අසීරුම එක්දින ඉසව්ව ලෙසින් සැලකෙන ‘අයන් මෑන්’ නමැති තුන්ප්‍රයාම තරගය සාර්ථකව නිමකළ ශ්‍රී ලාංකිකයාය. ලොව අසීරුම මැරතන් තරගය වන ඉන්කා රටවල් ඉසව්ව නිමකළ පළමු ලාංකිකයාය. අප ඔහුව සොයාගිය ගමනේදී පළමු දසුනෙන්ම මේ මෙවැනි ‘මහ වැඩක් කළ’ මිනිසකු දැයි ඇස් අදහාගැනීමටද තත්ත්පර කිහිපයක කාලයක් ගතවිය. කොළඹ ජාවත්තේ පිහිටි ඔහුගේ නිවසේ සුන්දර ගෙමිදුලේ පුටුවකට බරදී හසන් යූසුෆ් අලී නමැති මේ 27 හැවිරිදි තරුණයා ලොව වටා දිවගිය සිය මැරතන් අත්දැකීම් එකින් එක විස්තර කරයි. ඒවා චිත්ත රූප මැවෙන ආකාරයේ ‘දිවිලි’ය. විටෙක අතිශයින් දුෂ්කරය. විටෙක අතිශයින් සුන්දරය. විටෙක සිහිනයක් දැයි හිතෙන තරම්ය. නමුත් ඒ සියල්ල ඔහුට හැබෑ වූ අත්දැකීම්ය. ඔහු කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ සිසුවෙකි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳව මෙන්ම අලෙවිකරණය පිළිබඳද උපාධිධාරියෙකි. විදුහලේදී මෙන්ම විශ්වවිද්‍යාලයේද ඔහු හොඳ ක්‍රීඩකයෙකි. ඒ දෙකෙහිම ඔහු ටෙනිස් කණ්ඩායමේ නායකයා විය. මලල ක්‍රීඩා අංශයේ මැදි දුර ධාවකයෙක් විය. එහෙත් ඔහු මැරතන් ධාවකයකු බවට පත්වන්නේ මෙයින් වසර කිහිපයකට මත්තෙනි. ක්‍ෂණික තීරණයකිනි. ‘ඒ 2014 වසර. මම ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න කාලේ. මම කෑම කන ගමන් පත්තරයක් කියවමින් සිටියා. ඒ පත්තරයේ තිබුණා මෙල්බර්න් ජාත්‍යන්තර මැරතන් තරගය ගැන දැන්වීමක්. මේක දැකලා මම යාළුවන්ට ගිහින් කිව්වා මට මේ මැරතන් එක දුවන්න ඕනේ කියලා. එතකොට ඒ මැරතන් එක පවත්වන්න මාස 3ක කාලයක් තමයි තිබුණේ. ඒ වෙලාවේ මගෙ යාළුවො හිනාවුණා. එතැන හිටියා ඒ වෙනකොටත් මැරතන් දෙකක් දුවලා තිබුණු යාළුවෙක්. එයා මට කිව්වා ‘ඔයාට මේක දුවන්න පුළුවන්. ඒත් මාස 3 කාලයකින් නම් ඒකට පුහුණුවෙන්න බෑ’ කියලා. එතකොට මට තවත් ධෛර්යක් ආවා මම කොහොම හරි මේක කරනවා කියලා. ඒ මාස තුනේ මම බොහොම මහන්සියෙන් කැපවෙලා පුහුණුවීම් කළා. මම මැරතන් එක දිව්වා. ඒක සාර්ථකව අවසන් කළා. ඊට පස්සේ අර මම කියපු යාළුවා ඇවිත් කිව්වා ‘මම කියපු දේ බොරු කරන්න ඔයාට පුළුවන් වුණා. මම ඒ ගැන ඔයාට ගොඩක් ගරු කරනවා’ කියලා. මට පුදුම ශක්තියක් ආවා. මට හරිම උද්‍යෝගයක් ඇති වුණා. මහද්වීප හතේම මැරතන් දුවනවාය කියන හැඟීම මට ඇති වුණේ ඒ වෙලාවේ.’ සිය පළමු මැරතන් තරගය වූ මෙල්බර්න් මැරතන් තරගය සාර්ථකව අවසන් කළ ඔහු මීළඟට සැරසෙනුයේ ‘අයන් මෑන්’ නමැති තුන්ප්‍රයාම තරගයටයි. එහිදී කිලෝමීටර 42ක මැරතන් ධාවනයෙන් නැවතිය නොහැක. කිලෝමීටර 3.86ක පිහිනීමක් සහ කිලෝමීටර 180ක පාපැදි ධාවනයකද මෙම තරගයේදී යෙදිය යුතුය. මේ අභියෝග තුනම, විනාඩියක හෝ විවේකයක් නොගෙන, එකක් පසුපස එකක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ ඒ ප්‍රයාමය අවසන් කිරීමද නියම කරන කාලයක් තුළ කළ යුතුය. එසේ කරමින් දිවීම, පිහිනීම, පැදයාම යන මේ ප්‍රයාම තුනම පැය 17ක කාලයක් තුළ සිදුකර අවසන් කළ යුතුය. සැබැවින්ම මෙය සිතීමට පවා උගහටය. එනිසා මෙය ලොව අසීරුම ක්‍රීඩා ඉසව්ව වන්නේය. එය සම්පූර්ණ කිරීමට නම් සැබැවින්ම යකඩයෙක් විය යුතුය. එය සාර්ථකව නිම කරන ක්‍රීඩකයන් වෙත ‘අයන් මෑන්’ හෙවත් ‘යකඩ මිනිසා’ යන නම්බු නාමය ලැබෙයි. ක්‍ෂණිකව මැරතන් ධාවකයකු බවට පත්වූ හසන් සිය දෙවැනි අභියෝගය ලෙසින් මෙම අතිශය දුෂ්කර ඉසව්ව තෝරාගන්නේය. පැය 16 1/2කින් එම ඉසව්ව අවසන් කිරීමට සමත් වෙමින් ‘අයන් මෑන්’ නාමය ද දිනාගත්තේය. මෙම ‘අයන් මෑන්’ අභියෝගය ජයගැනීම හරහා තමන්ට මහද්වීප හතෙහිම මැරතන් ධාවනය සඳහා හැකියාව ඇතැයි දැඩි විශ්වාසයක් ඇතිවූ බව හසන් පවසයි. ලොව මහද්වීප හතෙහිම මැරතන් දුවනවාය යන්න ලෙහෙසි කටයුත්තක් නොවේ. එයට ශාරිරික යෝග්‍යතාව උපරිමයෙන් තිබිය යුතුය. මානසික ශක්තිය නොඅඩුව තිබිය යුතුය. එපමණද...? ආර්ථික ශක්තියද තිබිය යුතුය. නමුත් හසන් මේ සියල්ල ඉහළින්ම ජයගත්තේය. මෙවැනි අභියෝගයක් වෙනුවෙන් දශකයකට වැඩි කලක් පුහුණුවීම් සහ අත්දැකීම් අවශ්‍ය වුවත්, 2014 දී එකවනම හිතෙහි උපන් හැඟීමකට පණදී මැරතන් ධාවකයකු බවට පත්වූ මොහු එයින් වසර 5 ක් යන්නට මත්තෙන් මේ සටහන තැබෙන මොහොත වන විට ලොව මහද්වීප 7ම ජාත්‍යන්තර මැරතන් තරග පමණක් නොව අතිශය දුෂ්කර ‘අයන් මෑන්’ අභියෝගයද ජයගත්තේය. එකී ‘අයන් මෑන්’ තරගය වෙනුවෙන් ඔහු 2014 වසරේ සිට වසර 2ක් කැපකළේය. 2016 වසරේදී ලබාගත් ඒ ‘අයන් මෑන්’ ශක්තියෙන් සිත සවි වැඩුණු හසන් තවත් වසර 2ක කාලයක් තුළ මහද්වීප හතේම දිවයන්නේය. ඒ අනුව පිළිවෙළින් 2016 වසරේ ඔස්ට්‍රේලියා මහද්වීපයේදී මෙල්බර්න් මැරතන් තරගය (නැවතත්) ද යුරෝපා මහද්වීපයේදී ස්වීඩනයේ පැවැත්වෙන ස්ටොක්හෝම් මැරතන් තරගය (2017 ජුනි) ද ආසියා මහද්වීපයේ සිය මැරතන් ධාවනය ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු යැයි සිතූ බැවින් මෙරට පැවැත්වෙන එකම ජාත්‍යන්තර මැරතන් තරගය වන ‘කලම්බු මැරතන්’ තරගය (2017 ඔක්තෝබර්) ද , උතුරු ඇමරිකා මහද්වීපයේදී ලොව පැරණිම මැරතන් ඉසව්ව වන බොස්ටන් මැරතන් තරගය (2018 අප්‍රේල්) ද අප්‍රිකා මහද්වීපයේදී දකුණු අප්‍රිකාවේ ‘බිග් ෆයිව්’ මැරතන් (2018 ජුනි) තරගය ද සහ ඇන්ටාටිකාවේ අයිස් මැරතන් (2018 ‌​දෙසැම්බර්) ද සාර්ථකව නිම කරමින් මෙරට කිසිවකුට මෙතෙක් කළ නොහැකි වූ ඒ හපන්කම කළේය. දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ‘බිග් ෆයිව්’ මැරතන් තරගය යනු ලෝකයේ සත්ව අභයභූමියක් මැදින් දිවෙන එකම මැරතන් තරගයයි. මෙයට ‘බිග් ෆයිව්’ යන නම යෙදෙන්නේ අලියා, සිංහයා, කොටියා, රයිනෝසිරස් සහ කුළුහරකා යන සතුන් පස්දෙනා බහුලව ප්‍රදේශයක් හරහා මෙම මැරතන් තරගයේ ධාවන පථය වැටී ඇති බැවිනි. ඒ හසන්ගේ මැරතන් ධාවන අත්දැකීම් අතර සොඳුරුතම මතකයකි. ‘ඒක හරිම ලස්සනයි. අපිත් දුවනවා. ඒ අතරෙ කැලෑවෙ ඉන්න සත්තුත් දුවනවා. ආරක්‍ෂාව හොඳටම හොඳයි. සතුන්ගෙන් කරදරයක් නොවෙන විදිහට ඒකෙ ආරක්‍ෂාව යොදවලා තියෙනවා. ඈතින් සිංහයෝ ඉන්නවා. ජිරාෆ්ලත් ඉන්නවා. හරිම අපූරු අත්දැකීමක්’ කිලෝමීටර 42ක දුරක් දිවයන මැරතන් ධාවනයක් යනු ඉසව්වක් ලෙසින් ගත්විටම අභියෝගයකි. එවැනි අභියෝග අතරින් අමුතුම අන්දමේ අභියෝගයක් බවට පත්වන ඇන්ටාටිකාවේ ‘අයිස් මැරතන්’ තරගයට ඔහු පුහුණුවීම් කළේ ශ්‍රී ලංකාවේ සිටය. ලොව අධිකම ශීතලෙන් යුත් කලාපයේ මැරතන් ධාවනයක යෙදෙන්නට ලංකාවේ සිට ඔහු පුහුණුවීම්වල යෙදුණේ සුවිශේෂී උපක්‍රමයක් යොදමිනි. ‘මම මේ තරගය ගැන විශේෂ අධ්‍යයනයක් කරලා, තරග සංවිධායකයන්ගෙන් විමසලා තොරතුරු රාශියක් රැස්කරගත්තා. ඒ සඳහා ඇඳිය යුතු ශීතලෙන් ආරක්‍ෂාවන විශේෂ ඇඳුම් ඇනවුම් කර ගෙන්වාගත්තා. එවරස්ට් නැගපු පළමු ලාංකිකයන් දෙදෙනා වන ජයන්ති සහ යොහාන් මට ගොඩක් වටින උපදෙස් දුන්නා. පසුව මම මගේ ට්‍රෙඩ්මිල් උපකරණයත් (ව්‍යායාම සඳහා එකතැන දිවයන යන්ත්‍රය) අරගෙන ගියා ආහාර ගබඩාකරන ශීතාගාරයකට. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 20ක් දක්වා අඩුකරගෙන අර ඇඳුම් ඇඳගෙන මම ට්‍රෙඩ්මිල් එකේ දිව්වා. මෙයින් මට පුළුවන් වුණා ඇන්ටාටිකාවේ දේශගුණයට සමාන පරිසරයක් හදාගෙන එම පුහුණුවීම ලබාගන්න. ඇත්තටම ඇන්ටාටිකාව මොන වගේද, එවැනි ප්‍රදේශයක දුවන්න අවශ්‍ය කායික පෝෂණය මොන වගේද කියලා මට කිසිම දැනීමක් තිබුණේ නැහැ. නමුත් ශීතාගාරය ඇතුළේ මේ කරපු පුහුණුවෙන් මට ඒ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් වුණා’ ‘ඇන්ටාටිකා අයිස් මැරතන් තරගයට යද්දි අපිත් එක්ක තව කාවවත් එක්කරගෙන යන්න බැහැ. තනියෙන්ම තමයි යන්න වුණේ. ඒක දිගම දිග ගුවන් ගමනක්. කොළඹ ඉඳලා මාලේට, එතැනින් ඩුබායි, ඩුබායිවල ඉඳන් සැන්ටියාගෝවලට, එතැන ඉඳලා සාවෝපාලෝවලට, එතැනින් පස්සේ පුන්ටරිනාස්වලට ගියා. පුන්ටරිනාස්වල ඉඳන් පුද්ගලික ගුවන් යානයකින් තමයි දක්‍ෂිණ ධ්‍රැවයට ගියේ. ගුවන් ගමන් ගාස්තුව විතරක් රුපියල් ලක්‍ෂ 4කට වැඩියි. ගුවනින් යන්නත් දවස් දෙකක කාලයක් ගියා. හරිම මහන්සියි එතැනට යනකොට. එහේ හෝටල් නැහැනේ. අපි කූඩාරම්වල තමයි හිටියේ. මේ තරගය දුවද්දි ඇඳුම් දෙක තුනක් එක උඩ එක අඳින්න ඕනේ. උණුසුම දනවන දේ පලඳගන්න ඕනා. ඇස්වලට හිම වැටිලා ඇස් පෙනීමට බාධා වෙන්න පුළුවන් නිසා ගොගල්ස් දාන්න ඕනේ. උල් තියෙන සපත්තු (ස්පයික්ස්) දාන්න ඕනේ. හිම පතනය නිසා මීටර් 5කට එහා පාර පේන්නේ නැහැ. ඒ නිසා තරමක් අවධානයෙන් දුවන්න වෙනවා. තරගය තිබුණු දවසෙ කාලගුණය තවත් අයහපත් වුණා. ඒ නිසා තරග සංවිධායකයෝ තරගය නිම කරන්න අපට පැය 10 ක කාලයක් ලබාදුන්නා. නමුත් මම පැය 8 1/2කින් 38 වැනියට තරගය නිම කළා. මේක මොනතරම් අභියෝගාත්මකද කියනවා නම් සමහරක් කෙනෙක්ට තරගය නිම කරන්න පැය 14ක් ගියා. උදේ 10ට පටන් ගත්ත මේ තරගයේ සමහරක් අවසාන සීමාවට එනකොට රෑ 12 විතර වුණා. නියමිත කාලය ඉක්මවලා වුණත් නියමිත තැනට එන්න ඒ අයට ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද දන්නවද? එහෙට පැය 24ම ඉරඑළිය වැටෙනවා. ඉතින් රැයක් කියලා දෙයක් නැහැ. ඒ නිසා නිදියගන්න ගියහම තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ’ හසන් පවසන එම අත්දැකීම් අපට හැඟෙනුයේ ඔහු පිටසක්වලට ගොස් මැරතන් තරගයක් දුවා පැමිණි අයුරකිනි. ඒවා ඒ තරම් විෂමය. දුර්ලභය. ගමන් සහ නවතැන් පහසුකම් සඳහා වන වියදම් දරාගත් පමණින් ලොව වටා මැරතන් දිවිය නොහැක. ඒ සඳහා නිරන්තර පුහුණුවීම අවශ්‍යය. ලෝකය වටේම දිවගියත් හසන් ‘නිවාඩු’ නොගනියි. ‘මම සතියෙ හැම දියනයකම පුහුණුවීම්වල යෙදෙනවා. දවසින් දවස එකකට එකක් වෙනස් පුහුණුවීම් වල යෙදෙනවා. දුවන එක විතරක් නෙමෙයි, පාපැදි, පිහිනුම්, යෝග අභ්‍යාස, සම්භාහනය ආදී හැමදෙයක්මත් මේ අතර කෙරෙනවා. දුර දුවද්දී එය ට්‍රෙඩ්මිල් එක මතත් දුවනවා. නැතිනම් කොළඹ වටේත් දුවනවා’ හසන්ට පුහුණුකරුවෙක් සිටියි. ඔහු සිටින්නේ ඔස්ට්‍රේලියාවේය. නමුත් එය පුහුණු උපදෙස් ලැබීම සඳහා ගැටලුවක් නොවේ. හසන් විසින් කරනු ලබන ව්‍යායාම්, පුහුණුවීම් සියල්ල පිළිබඳ අතෙහි බැඳි ඔරලෝසුවේ ඇති ජී.පී.එස් තාක්‍ෂණයේ අනුහසින් ඔහු එහි සිට අධීක්‍ෂණය කරයි. ඒ අනුව හසන්ට උපදෙස් ලැබේ. ඒ අතින් මේ ගුරු-ගෝල සබඳතාවද අපූරුය. ඔව්හු තාක්‍ෂණය උපරිමයෙන් යොදාගනිමින් එහි මහගු පල නෙලාගනිති. ‘මටම පුදුමයි. මටම අදහගන්න බැහැ වගේ. මගේ ඉලක්කය වුණේ මහද්වීප හතේම මැරතන් දුවපු ලංකාවේ පළවෙනි ධාවකයා වෙන්න. ශ්‍රී ලංකා කොඩිය මගේ උරහිස මත රඳවගෙන මම මේ හැම මැරතන් තරගයකම අවසාන ඉර පහුකරද්දී මට දැනුණු සතුට කියල නිම කරන්න බැහැ. ඔව් මම තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දේ කරන පළමු කෙනා කියල හිතෙනකොට දැනෙන දේ කියාගන්න බැරි තරම්’ ‘මෙයින් මම දිනාගත්තේ මගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ විශ්වාසයක් විතරක් නෙමෙයි. මේ හරහා මම විශ්වාසක් ඇතිවුණා මට කරන්න අවශ්‍යයි කියලා හැඟෙන ඕනෙම දෙයක් කරන්න හැකියාව මට තියෙනවාය කියලා. ව්‍යාපාර, මූල්‍යමය දේවල්, මහජන සම්බන්ධතා ආදී මේ ඕනම දෙයක්, අරමුණක් හැටියට හදවතින් දරාගත්තහම සාර්ථක කරගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය මට ගොඩනැගුනේ මේ මැරතන් අභියෝගය ජයගැනීම නිසයි’ මෙම මැරතන් සහභාගිත්වයේ බරපැන උපයාගත් ආකාරයද, එය රටට සහ අනුග්‍රාහකයන් වෙනුවෙන් ආයෝජනයක් කරවන ආකාරයද ඔහු පැහැදුවේය. ‘මේ වගේ ඉලක්කයක් වෙත යනකොට ලොකු මුදලක් වැය වෙනවා. මේ හැමදෙයකටම මගෙ ළඟින් ඉඳගෙන උදව්කරන මගෙ බිරිඳත් මමත් වසරක කාලයක් පුරා මේ වෙනුවෙන් සැලසුම් හැදුවා. අපි සමාගම් කිහිපයක් මුණගැසිලා යෝජනාවක් හැටියට මේක ඉදිරිපත් කළා. ඒ අනුව රටේ පුද්ගලික අංශයෙන් මට අනුග්‍රාහකත්වයන් කිහිපයක් ලැබුණා. රජයෙන් උපකාර ලැබුණා. අඩිඩාස්, රෙඩ්බුල් වගේ ජාත්‍යන්තර සන්නාම වලින් අනුග්‍රහයන් ලැබුණා. ඒ අනුග්‍රහයන් අරගෙන මම නිකම් හිටියේ නැහැ. ඒ අයගේ සන්නාමයන් ප්‍රදර්ශනය කරමින් ප්‍රචාරණය ලබාදුන්නා. ඒ සමාගම්වලට ගිහින් මගේ අත්දැකීම් ඇසුරින් ඒ අයගේ ජීවන රටාවට ගතහැකි දේ ගැන දැනුවත් කරමින් මම මට පුළුවන් විදිහට ඒ අයට ආපිට යමක් දුන්නා. අපිට තේ වෙළෙඳාමෙන් පවුලේ ව්‍යාපාරයක් තිබෙනවා. මට තියෙන ව්‍යාපාරික අත්දැකීම් සහ ක්‍රීඩාව පැත්තෙන් මම ගත්තු මේ අත්දැකීම් එකතුකරලා රටට යහපතක් වෙන දෙයක් කරන්නයි මගෙ බලාපොරොත්තුව.’ ක්‍රීඩාව දෙසින් ඔහුගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද? නැතිනම් සහභාගිත්වයකට පමණක් සීමා නොවී ජාත්‍යන්තර මට්ටමෙන් මැරතන් තරගයක මුල් ස්ථාන දිනාගැනීමේ තරගකාරී ක්‍රීඩා රටාවකට ඔහු යොමුවේද? ‘දැනට මම සහභාගිත්වයෙන් සතුටු වෙනවා. කිලෝමීටර 42ක මැරතන් එකක් නිමකරනවා කියන එකත් ලෙහෙසි වැඩක් නෙමෙයිනේ. මේ වන විට මගේ පළමු ඉලක්කය ඉතාම සාර්ථකව අවසන්. ඉදිරියේදී තරගයක් ජය ගැනීමේ අරමුණින් දුවනවද කියන එක මගේ පුහුණුකරු සමග සාකච්ඡා කර ගත යුතු තීරණයක්. ඒ ඇරෙන්න ක්‍රීඩාවෙන් ඉදිරියේදී කරන්න යන දේ මොකක්ද කියලා ඒ කාලෙ ආවහම කියන්නම්. එතකං ඒක රහසක්....’ හසන් යූසුෆ් අලී නම් මේ ශ්‍රී ලාංකේය පුත්‍රයා නිහතමානී සිනහවකින් මුව සරසාගෙන එයට පිළිතුරු බැන්දේය. එහිදී කිලෝමීටර 42ක මැරතන් ධාවනයෙන් නැවතිය නොහැක. කිලෝමීටර 3.86ක පිහිනීමක් සහ කිලෝමීටර 180ක පාපැදි ධාවනයකද මෙම තරගයේදී යෙදිය යුතුය. මේ අභියෝග තුනම, විනාඩියක හෝ විවේකයක් නොගෙන, එකක් පසුපස එකක් ක්‍රියාත්මක කළ යුතුය. උදේ 10ට පටන් ගත්ත මේ තරගයේ සමහරක් අවසාන සීමාවට එනකොට රෑ 12 විතර වුණා. නියමිත කාලය ඉක්මවලා වුණත් නියමිත තැනට එන්න ඒ අයට ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද දන්නවද? එහෙට පැය 24ම ඉරඑළිය වැටෙනවා. ඉතින් රැයක් කියලා දෙයක් නැහැ. ඒ නිසා නිදියගන්න ගියහම තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ’ ඉන්ද්‍රජිත් සුබසිංහ ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..