brand logo

ලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170 අතරින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඉහළට - කථානායක

01 January 2020

ලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170 ක් අතරින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඉතා උසස් තත්ත්වයට පත්ව ඇති බවත්,එය මේ වන විට ලොව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. “මේ වන විට අලුත් ජනාධිපතිවරයෙක් පත්ව සිටිනවා.අලුත් ආණ්ඩුවක් ක්‍රියාත්මයි.ඉදිරියේ දී මහමැතිවරණයක් පැවැත්වෙනවා.එහිදී නව කථානායකවරයෙක් පත් වෙන්න පුළුවන්.එතුමා මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි මා විශ්වාස කරනවා”.යැයි ද කථානායකවරයා කීවේය. 2015 සැප්තැම්බර් මාසයේ තමා කථානායක ධූරයට පත්වන විට සිදුකල ප්‍රාර්ථනාවක් වූයේ පාර්ලිමේන්තුව තුළ සහෝදරත්වය ඇතිකිරීම සහ, එකම පවුලක් ලෙස කටයුතු කිරීම බවත් ආපසූ හැරී බැලීමේදී ඒ පිළිබදව සතුටු විය හැකි බවත් හෙතම පැවසීය. එතුමා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට අද එක් වෙමිනි. ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය ආරම්භ වූයේ ගරු කථානායක කරු ජයසූරිය මහතා ජාතික ධජය එසවීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස එක්ව, ජාතික ගීය ගායනා කිරීමත් සමගය . රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සැමරීම සදහා විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීම ඉන් අනතුරුව‍ සිදු විය. රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරීමෙහිලා කැපවන බවට සහතික වෙමින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව /දිවුරුම හඩ නගා කියවීම ද මෙහිදී සිදු විය . මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා පහත පරිදි ද පැවසීය. “රටට නිදහස ලැබී වසර 71 ක් ගතව තිබෙනවා.එම කාලය තුළ රට අපස්සට ගමන් කළා. රට තුළ පැවැති ත්‍රස්තවාදය ,තරුණ අසහනය ,දේශපාලන ගැටලු හා පැවැති ජාති හා ආගම් භේද ඊට හේතු වුණා. රටට සෞභාග්‍ය ඇති කළ හැක්කේ ජාති හා ආගම් භේද ඇතුළු එවැනි ගැටලු තුරන් කිරීමෙන් පමණයි. ජාතින් අතර සහයෝගය හා සුහදත්වය ඇති කළ යුතුයි.රටේ අනාගතය සදහා එය ඉතා වැදගත් වනවා” උත්සවය අතරතුර කාර්‍ය මණ්ඩලය ඇමතූ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ, ජාතික අරමුණු ඉටු කර ගැනීම සදහා සියලු පාර්ශව කැපවී ක්‍රියා කළ යුතු බවයි . රටේ අභිවෘද්ධිය සදහා පාර්ලිමේන්තුවෙන් සිදු කෙරෙන මෙහෙය සුවිශේෂි බවත් ,ඒ සදහා කාර්‍ය මණ්ඩලය වඩාත් කැපවීමේන් කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසීය. ගත වූ වසර තුළ පාර්ලිමේන්තුවේ සාධනීය වෙනස්කම් රැසක් සිදු කිරීමට සමත් වූ බවත්, අලුතින් සන්නිවේදන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරිමට හැකිවීමත්,පාර්ලිමේන්තු පුස්තකාලයේ ලේඛන සං‍රක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවීමත් ඒ අතර ප්‍රධාන වන බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.මෙම වසර අභියෝගාත්මක වසරක් බවත්,සාමුහිකත්වයෙන් ඊට මුහුණ දියයුතු බවත් එතුමා අවධාරණය කළේය. මෙම උත්වසයෙන් අනතුරුව පාර්ලිම්මේන්තු පරිශ්‍රය තුළ රුක් රෝපණ වැඩසටහනක්ද පැවැත්විණි.
 

More News..