brand logo

ලොව පළමු අභ්‍යවකාශ හෝටලය ‘අවුරෝරා’ Well Come

05 February 2019

ලෝකයේ පළමු අභ්‍යවකාශ හෝටලය තව වසර දෙකකින්, එනම් 2021 වසරේ අභ්‍යවකාශගත කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. සුඛෝපභෝගී හෝටලයක් ලෙස හැඳින්වෙන මෙය අභ්‍යවකාශ සංචාරකයින් වෙනුවෙන් විවෘත කෙරෙනු ඇත්තේ 2022 වසරේ සිටයි. පළමු ඓතිහාසික සංචාරක පිරිස එම වසරේ එහි ළඟා වනු ඇති බව සඳහන් වෙයි. ‘අවුරෝරා ස්ටේෂන්’ (Aurora Station)යනුවෙන් නම් කර ඇති මෙම අපූරු හෝටලය සැලසුම් කර ඉදිකරන ලද්දේ ඇමෙරිකානු සමාගමක් වන ඔරායන් ස්පෑන් (Orion Span) විසිනි. සුඛෝපභෝගී හෝටලයක් වුවද එක් වරකට මෙහි කාලය ගතකිරීමට හැකි වන්නේ සය දෙනකුට පමණක් බව ද සඳහන් වේ. ඒ සය දෙනාට කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ද ඇතුළත් වේ. එක දිගට දින 12 ක කාලයක් අවුරෝරා ස්ටේෂන් හි ගත කිරීමට සංචාරකයින්ට හැකියාව ලැබෙනු ඇත. මෙම හෝටලයේ නිවාඩුවක් ගතකිරීම සඳහා ගෙවිය යුතු ගාස්තුව නම් ලෝකයේ වැඩි දෙනෙකුට දැරිය හැකි මට්ටමේ එකක් නොවේ. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 10 කට කිට්ටු ය. ලංකාවේ මුදලින් එය රුපියල් කෝටි 190 කට ආසන්න ගාස්තුවකි. නමුත් මෙතරම් ගාස්තුවක් ගෙවා හෝ මෙවැනි අත්දැකීමක් ලැබීමට හැකියාව ඇති බිලි යනපති වාසනාවන්තයින් ද ලොව සිටින බව රහසක් නොවේ. මෙම අභ්‍යවකාශ හෝටලය පෘථිවිය වටා ගමන් කරන්නේ පෘථිවියේ සිට කි.මී. 320 ක් (සැතපුම් 200 ක්) ඉහළිනි. සෑම විනාඩි 90 කටම වරක් එය පෘථිවිය වටා රවුමක් සම්පූර්ණ කරයි. එම ගමන් වාරයක් තුළ හිරු උදාවන් සහ බැසයාම් 16 බැගින් නැරඹීමේ අපූරු අවස්ථාව සංචාරකයින්ට හිමි වේ. එමෙන්ම ගුරුත්වාකර්ෂණයෙන් නිදහස් තත්ත්වයක් තුළ පාවෙමින් එහා මෙහා යාමේ අවස්ථාව ද ඔවුන්ට හිමි වනු ඇත. තම ගම් රටවල් පිහිටි ප්‍රදේශවලට ඉහළින් අභ්‍යවකාශය හරහා ගමන් කිරීමේ දුර්ළභ අවස්ථාව ද ඔවුන්ට ලැබෙනු ඇත. එපමණක් නොව පෘථිවියේ සිටින සිය නෑ හිතවතුන් සමග විඩියෝ සංවාදවල නිරත වීමට ද අවස්ථාව උදා වෙයි. හෝටලය ගමන් කරන්නේ පෘථිවියේ සිට එතරම්ම ඉහළ කක්‍ෂයක නොවන නිසා පෘථිවියෙහි ඉතා මනස්කාන්ත දසුන් දැක ගැනීමට මෙහි ගමන් කරන්නවුන්ට හැකි වනු ඇති බව නිෂ්පාදකවරු සඳහන් කරති. එමෙන්ම විවිධ ක්‍රීඩාවන් ආදියෙහි නිරත වීමට ද මෙම අභ්‍යවකාශ සංචාරකයින්ට අවස්ථාව හිමි වෙයි. මෙහි ඇති විශේෂත්වයක් නම් එම ක්‍රීඩාවන් කිරීමට සිදුවන්නේ ගුරුත්වාකර්ෂණයෙන් තොර තත්ත්වයක් යටතේ වීමයි. ඒ නිසා එය පෘථිවියේ ක්‍රීඩා කරනවාට වඩා හාත්පසින්ම වෙනස් අමුතුම අත්දැකීමක් වනු ඇත. සෑම සංචාරකයින් කණ්ඩායමක් සමගම එහි යන කාර්යමණ්ඩලයේ දෙදෙනා පලපුරුදු, වෘත්තීය අජටාකාශගාමීන් ය. ඒ නිසා ඔවුන් මෙම සංචාරක හෝටලය තුළ දී විවිධ පර් යේෂණ කටයුතුවල යෙදීමට ද නියමිත බව සඳහන් වේ. මෙහි දී ඔවුන් කරන පර් යේෂණවලට සහය වීමේ සහ ඒවා දැකබලා ගැනීමේ අවස්ථාව ද සංචාරකයින්ට හිමි වනු ඇත. අභ්‍යවකාශයේ සිටිමින් ආහාර වගා කිරීම පිළිබඳ පර් යේෂණ මෙයට එක් නිදසුනකි. මෙසේ වගා කරනු ලබන ආහාර මෙම ගමන සිහිවනු පිණිස නැවත පෘථිවිය වෙත රැගෙන ඒමට ද සංචාරකයින්ට අවසර ලැබෙයි. එමෙන්ම සංචාරකයින් සිය නිවාඩුව අවසන් කර නැවත තම ගම බිම් බලා පැමිණෙන අවස්ථාවේ ඔවුන්ට වීරයින්ට ලබා දෙන ආකාරයේ පිළිගැනීම් සංවිධානය කිරීමට ද මෙහි නිෂ්පාදකවරු අදහස් කරති. ‘අවුරෝරා ස්ටේෂන්’ හෝටලය අඩි 12 ක පළලින් ද, අඩි 35 ක දිගින් ද යුතු වූවක් බව සඳහන් වේ. එය සාමාන්‍යයෙන් විශාල ජෙට් ගුවන් යානයක මගීන් සඳහා වෙන් කර ඇති කොටසට සමාන ඉඩකින් යුතු වන්නකි. තවත් විශේෂ කාරණයක් වන්නේ මෙහි නිවාඩුවක් ගත කිරීම සඳහා යාමට පෙර සංචාරකයින්ට මාස තුනක පුහුණු වැඩසටහනකට සහභාගි වීමට සිදුවීමයි. මෙම පුහුණුව ලබා දෙන්නේ අභ්‍යවකාශ ගමන් ක්‍ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් ඇති ප්‍රවීණයන් හරහා ය. මෙවැනි සංචාරක හෝටලයක් සඳහා මොන තරම් ඉහළ ගාස්තුවක් අය කළ ද හෝටලය ඉදිකිරීමට වැය කළ මුදල පියවා ගැනීමට ඒ ඔස්සේ හැකි නොවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද යත් මෙවැනි ගාස්තුවක් ගෙවා එහි නිවාඩු ගත කළ හැකි පිරිස ඉතා අල්ප වන බැවිනි. ඒ නිසා ඔරායන් ස්පෑන් සමාගම මෙය සංචාරක හෝටලයකට පමණක් සීමා කිරීමට බලාපොරොත්තු වන්නේ නැත. වෙනත් විවිධ අභ්‍යවකාශ පර් යේෂණ කටයුතු සඳහා වාණිජ පදනමක් යටතේ එය භාවිත කිරීමට ද ඔවුහු අපේක්‍ෂා කරති. එමෙන්ම වෙනත් අභ්‍යවකාශ ආයතනවලට ද ඔවුන්ගේ කටයුතු සඳහා මෙය යොදා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් වේ. ‘අවුරෝරා ස්ටේෂන්’ අභ්‍යවකාශ හෝටලය සාර්ථක කර ගැනීමෙන් අනතුරුව ඔරායන් ස්පෑන් සමාගම තවත් අපූරු ව්‍යාපෘතියක් සඳහා මුල පිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. එනම් අභ්‍යවකාශයේ සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක් ඉදි කිරීමයි. එවිට අභ්‍යවකාශයේ පදිංචි වීමට ආසාවෙන් සිටින උදවියට, තමුන්ටම කියා නිවසක් මිලදී ගෙන එහි පදිංචි වීමට හැකියාව ලැබෙනු ඇත. නිහාල් පීරිස්
 

More News..