brand logo

ලොවේ මලින් බැබළෙන ලංකාවේ ලක්ෂ්මන්

08 February 2020

කටු කොහොලින් පිරි දුෂ්කර මගකින් දිවි ගමන ඇරඹු ලක්ෂ්මන්ගේ ජීවිතයට ‘‘වර්ණයක්’’ සහ ‘‘වටිනාකමක්’’ එකතු වන්නට ගත්තේ ‘‘මල්’’ නිසාය. මල්වලින් ඔහුගේ නම මැදපෙරදිගදී හැඩවූවා සේම සාමාන්‍ය මිනිසුන්ගේ පමණක් නොව රජ පවුල්වල හිත්වලටද ඔහුට ඇතුළු වන්නට හැකි වූයේ මල් නිසාය. රත්නපුරෙනුත් ඈත ගල්ලෑල්ලේ ඉපදුණත් ලක්ෂ්මන් පාසල් ගියේ ඇරැව්වල ධර්මපාල විද්‍යාලයටයි. ඒ ගමෙන් ඈත්ව ආච්චි අම්මා ළඟ හැදුණ නිසාය. දක්ෂ ලෙස ඉගෙනීම් කටයුතු කළ ලක්ෂ්මන් උසස් පෙළ වාණිජ අංශයෙන් සමත් වී මුල්ම රැකියාව ඇරඹූයේ ජයරත්න මල් ශාලා සමූහයෙනි. ඒ මල් අංශයේ ගිණුම් කළමනාකරු විදියටයි. ‘‘මම මල් පැත්තට යොමු වුණේ මගේ ඒ පළවෙනි රස්සාවෙන්. අවුරුදු පහක් මම ඒ ආයතනයේ වැඩ කරද්දී මල් ගැන නොදැන හිටපු දැනුමක් ලබාගත්තා. ඒත් ඊළඟට මම කරන්න තෝර ගත්ත වෘත්තියත් එක්ක මල්වලින් කාලෙකට ඈත් වුණා. ඒ, ඒ රැකියාව මලකට සම්බන්ධ නැති නිසා...’’ ලක්ෂ්මන් එවර තෝරාගත්තේ පොත් සම්බන්ධ රැකියාවකි. රජයේ මුද්‍රණාලයෙන් වසරක පොත් බඳින්නා පාඨමාලාවක් කළ ඔහු ඔහුගේම ආයතනයක් පටන් ගත්තේය. ඒ Susari Book Binding Finishing and Rebinding නමිනි. ඒ ඔස්සේ ඔහුට රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන ආයතන ගණනාවක පොත් බැඳුම්කරණය කරන්නට අවස්ථාව ලැබුණේය. ‘‘මේ වෘත්තිය කරගෙන ඉන්න අතරෙ මට ජපානෙට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ මල්වත්, පොත්වත් සම්බන්ධ රැකියාවකට නොවේ. ඒ වතාවේ මට කරන්න ලැබුණේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ රැකියාවක්. අවුරුදු පහක් මං ජපානේ ඒ රැකියාව කළා. ඒ අතරේ ජපානයේ ඉකිබානා මල් කලාව ගැන මං ටිකක් ඉගෙන ගත්තා මල්වලට තිබ්බ ආසාව නිසා.’’ වසර පහ අවසානයේ ලංකාවට ආ ලක්ෂ්මන්ගේ ජීවිතයට ආයෙත් ‘‘මල්’’ ආශිර්වාදයක් වූවේය. ඒ වනවිට කටාර් රාජ්‍යයේ රැකියාව කරමින් සිටි ඔහුගේ බාල සහෝදරයා ලක්ෂ්මන්ව දැනුවත් කළේ ඩුබායි රාජ්‍යයේ ආයතනයක මල් සැකසුම් ශිල්පියකුට ඇබෑර්තුවක් ඇති බව දැනුම් දෙමිනි. ‘‘ඒ තොරතුර ඔස්සේ හොයලා බලලා ඒ කියපු මල් සැකසුම් ශිල්පී ඇබෑර්තුවට මං 2009 දී සාජා නුවරට ආවා. ඒක සාජා නුවර අලුතෙන්ම පටන් ගත්ත මල් සාප්පුවක්. එතකොට මං ඇත්තටම නමින් අඳුරන්නෙ මල් වර්ග 30 යි. ඒ වගේම මට හදාගන්න පුළුවන්කම තිබුණෙත් සාමාන්‍ය මල් සැකසුමක් විතරයි. ඒත් මට උපන් හැකියාවක් තිබුණා ඕනෑම නිර්මාණයක් හිතලා කරන්නත්, දැකලා ඒකට වෙනසක් නැතුව කරන්නත්. කො​හොම වුණත් අලුතෙන් පටන් ගත්ත නිසාදෝ ඒකෙත් ලොකු බිස්නස් එකක් තිබ්බෙ නෑ. ඒ නිසා සිකුරාදා මගේ නිවාඩු දවසෙ මං ඩුබායිවල ලොකු Wedding Company එකක Part Time වැඩට යන්න ගත්තා. ඒ සමාගම අයිති වුණේ ජර්මන් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙන්නෙකුට. මම මහන්සියෙන් කාර්යක්ෂමව වැඩ කරන හැටි ඔවුන් දැක්කා. ඒ අතරේ මම වැඩ කළ සාජාවල ආයතනය අසාර්ථක වුණ නිසා එහි හිමිකාරිය කීවා මට වෙනත් තැනක රැකියාවක් ඇත්නම් හොයාගන්න කියලා...’’ එවන් මොහොතක ලක්ෂ්මන් ළඟට ‘‘වාසනාව’’ හොයා ආවේය. ඔහු Part Time රැකියාව කළ සමාගමේ ජර්මන් ජාතික හිමිකරුවාගෙන් දිනක් ඔහුට ඇරයුමක් ලැබුණේය. ඒ ඔවුන්ගේ ආයතනයට එක්වන්නට කැමති දැයි අසමිනි. ඔහු දෙවරක් නොසිතා ඒ ඇරයුමට කැමති වුණේය. ‘‘මම එතැන තවත් මහන්සියෙන් වැඩ කළා. දින දෙක තුන නිදි වරාගෙන වැඩ කළා. නොදන්නා හැම දෙයක්ම වගේ හොඳින් ඉගෙන ගත්තා. දැවැන්ත මංගල සැරසිලි මට තනියම බාර දෙන තැනට ආයතනයේ විශ්වාසය මං දිනාගත්තා. තවත් අවුරුදු එකහමාරකට පස්සේ ජර්මන් සහ බ්‍රිතාන්‍ය ජාතික හිමිකරුවන් දෙදෙනාම මට එම ආයතනයේ ප්‍රධාන මල් සැකසුම් ශිල්පියාගේ කටයුතු බාර අරගෙන කරගෙන යන්න පුළුවන් නේද කියලා ඇහුවා. එහෙම වුණේ හිටපු ප්‍රධාන මල් සැකසුම් ශිල්පියා ආයතන කළමනාකාරීත්වය සමග ඇතිකරගත් ගැටලුවක් නිසා එතැනින් අස්වුණ නිසා.’’ එවැනි අධික වැඩ ඇති ආයතනයක ප්‍රධාන මල් සැකසුම් ශිල්පී තනතුර විශාල වගකීමක් ඇති එකක් වුවත් ඒ විදේශිකයන් දෙදෙනාම මේ ශ්‍රී ලාංකික තරුණයා ගැන විශ්වාසය තැබුවේය. ඊටද මේ ආයතනයට සම්බන්ධ Flower Boutique, Focus Wedding සහ Disigen නමින් තවත් ආයතන තුනක මල් අංශයේ වැඩ කරන්නටත් තිබුණි. ඒ අනුව ඔහුගේ වැටුපද ඩිරාම් 8500 ක් දක්වා වැඩි කරන්නට තරම් ඔවුන්ගේ හදවත් පොහොසත් වුණේය. ‘‘අදටත් මං මේ ආයතනවල ප්‍රධාන මල් සැකසුම් ශිල්පියා Event in Charge විදිහට වැඩ කරනවා. ඒ අතරතුර කාලයේ මලුත් එක්ක ගෙවන ජීවිතේ විවිධ සිද්ධි තියෙනවා. මට මතක හැටියට 2014 අවුරුද්දේ ඩුබායි රාජකීය පවුලේ රජකීය මංගල්‍යයකට රතු රෝස මල් ලක්ෂ 4 කින් Dubai World Trade Center එකේ සැරසිලි කරන්න තිබුණා. ඒත් රජ පවුලේ සාමාජිකයකුගේ හදිසි අභාවය නිසා මංගල්‍යය දින 12 කින් කල් ගියා. ගෙන්වා තිබූ රතු රෝස මල් ලක්ෂ 4 ම වීසි කළා. නැවත මල් ලක්ෂ 4 ක් ගෙන්වාගෙන තමයි ඒ වෙඩින් එක කළේ.’’ ඒ අතරතුරේ තවත් කෙනකුට ලක්ෂ්මන්ලාගෙන් වුවමනා වන්නේ හිම අයිස් සමග මංගල උත්සවය පවත්වන්නටයි. එහිදී ඔහු තම පිරිස සමග කෘත්‍රිම හිම සහ Ice Spray යොදාගෙන හිතාගන්නවත් බැරි සුන්දර නිර්මාණ කර දුන්නා. ඊට අමතරව ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් තම දරුවන්​ගේ විවාහ මංගල උත්සව ගනු ලබන්නේ ඩුබායි රටේය. ඒ සඳහා ඔවුන් කෝටි ගණන් මුදල් වැයකර දින හතරෙ පහේ උත්සව තබද්දී ඒ සැරසිලිද බොහොමයක් සිදුවන්නේ ලක්ෂ්මන්ගේ මූලිකත්වයෙන් වීම සුවිශේෂය. හේතුව ඒ සැරසිලි භාර වන්නේ ඔහු සේවය කරන සමාගමට වීම නිසාය. ‘‘ඕමාන් රාජ්‍යයේත් අපි මංගල සැරසිලි කරනවා. මගෙ ජීවිතේ අමතක නොවන සිද්ධි කීපය අතරට ලෝකයේ දක්ෂතම මල් සැකසුම් ශිල්පියා වන ඇමෙරිකානු ජාතික ප්‍රිස්ටන් බේලි විශේෂ විවාහ මංගල්‍යයකට ඩුබායි ආ මොහොතේ එම සැරසිලි සඳහා මගේ සහය ලබාගත්තා. ඔහුත් සමග වැඩ කරනවා තබා ඡායාරූපයකට පෙනී සිටීමත් මල් සැකසුම් ශිල්පියකුට සිහිනයක්. අනෙක ඩුබායි රජුගේ පළමු රැජිනගේ හිත මලින් වශී කිරීමත් අමතක වන්නේ නෑ. ඩුබායි රජතුමාගේ ඔටුන්න හිමි කුමරු ඇතුළු කුමාරවරු තුන්දෙනාගේ විවාහ මංගල්‍යයයේ මල් සැරසිලි සාම්පල් තමයි මුලින් බැලුවේ. මමත්, බ්‍රිතාන්‍ය, ඉතාලි, ලෙබනන් මල්කරුවන් රජතුමාගේ මල් අංශයෙන් හිටියා. උත්සව ශාලාවට ඇතුළු වන උමං මාර්ග පහක් නිර්මාණය කරන්න තිබුණා. එතැනින් හොඳම එක තෝරන්න ආවේ රජතුමාගේ ප්‍රධාන රැජින. උමං මාර්ගයක දිග මීටර් 500 ක්. දිව්‍ය ලෝකයකට ඇතුළු වෙන විදිහට නිර්මාණය කරන්න තිබුණා. කාලය පැය 6 යි. අත් උදව්කාරයන් 5 දෙනයි. පස්දෙනාම උමං මාර්ග පහක් හැදුව. පහුවදා උදේ රැජින ආවා. ඇය මුලින් සියල්ලන්ගේම උමං මාර්ග බලලා අවසානයේ මගේ නිර්මාණය ළඟට ආවා. දෙඅත් කම්මුල් මත තියා විස්මය පළ කළ ඇය මගේ නිර්මාණය මුළු උමං මාර්ග පහටම නිර්දේශ කළා. ඇය මට පෞද්ගලිකවත් ස්තුති කළා.’’ ඊට සති හතරකට පසු 21 දෙනකු සමග පැය 6 ක් ඇතුළත ලක්ෂ්මන් රාජකීය මංගල්‍යයට මේ නිර්මාණය කළේය. ඒ මගින් ඔහුට රාජකීය මල් අංශයට බැඳීමටද ආරාධනා ලද අතර නිදහස් රැකියාව ඊට වඩා අගය කළ ඔහු ඒ ඇරයුම කාරුණිකව බැහැර කළේය. තවත් එවැනි බොහෝ විශේෂ අවස්ථා ලක්ෂ්මන්ගේ මල් ජීවිතේ පුරාමත් ඇත. ‘‘පුංචි රටකින් ඇවිත් මල් ලෝකයේ විශිෂ්ටයන් සමග කරන රැකියාව ගැන මම සිංහලයෙක් විදියට ආඩම්බර වෙනවා.’’ ලක්ෂ්මන් කියන්නේ නිරහංකාරවය. ඔහුගේ නිර්මාණශීලී නොසැලෙන ජීවිතේට තවත් ශක්තියක් වී සිටින්නී ආදරණිය බිරිඳ සුහාරිය. ඇයද සහකාර මල් සැකසුම් ශිල්පිනියක් ලෙස ඔහුත් සමග ජීවිතය පුරා රැඳී සිටින්නීය. මල් වාගේම අදටත් ලක්ෂ්මන්ගේ ජීවිතයට බද්ධ වුණ තවත් එක් දෙයක් ඇත. ඒ මුද්දරය. ලංකාවේ විශාලම මුද්දර එකතුව ඇත්තේ ඔහු ළඟ බව ලක්ෂ්මන් කීවේය. අද වනවිට ඔහු ළඟ මුද්දර මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක්ද ඇත. බියංකා නානායක්කාර
 

More News..