brand logo

ලොකු සැලසුම් නැති සරල නිළිය

22 December 2019

වේදිකාවෙන්, පුංචි තිරයෙන් සහ සිනමාවෙන් සිය රංගන ප්‍රතිභාවන් දක්වා ඒ සෑම තැනකදීම සම්මානිත වෙමින් කලාවේ දිගු ගමනක පෙර මංසලකුණු තබන ගයනි ගිසන්තිකා මේ දිනවල හේමන්ත ප්‍රසාද්ගේ සිනමා ආගමනය සනිටුහන් කරන ‘උලලේනි’ තුළින් රිදී තිරයේ දැකගන්නට පුළුවන්... මේ දවස්වල කොහොමද ලැබෙන ප්‍රතිචාර? හිතුවට වඩා හොඳ ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා චිත්‍රපටයට. ඒ නිසා ප්‍රේක්ෂකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. හේමන්ත අයියාව මුණගැහෙන්නේ? මට හේමන්ත අයියව මුණගැහෙන්නේ මීට අවුරුදු 15කට විතර කලින් වේදිකාවේදී. ඒ වගේම මම හේමන්ත අයියාගේ වේදිකා නාට්‍යයක රඟපෑවා. ඉතින් අපි වේදිකාවෙන් ආපු අය හැටියට ඒ හිත මිත්‍රකම් තාමත් තියෙනවා. මට සිනමාවේ ප්‍රධාන භූමිකාවක් ලැබෙන්නේ හේමන්ත අයියාගේ මේ කෘතිය හරහා, ඉතින් වේදිකාවට සම්බන්ධ අය බොහොමයක් එක්ක කරපු නිර්මාණයක් නිසා පහසු වුණා හොඳට මේ සිනමා නිර්මාණය කරන්න. මේ දවස්වල ලංකාවෙමද ඉන්නේ? ඔව්, ඒක අනිවාර් යෙන්ම කියන්න ඕනේ. අපි සියලු දෙනා 2013 ඉඳන් ලංකාවේම තමා ඉන්නේ. තරු නම් ඉතින් වැඩවලට විදෙස්ගත වෙනවා. නමුත් ස්ථිර පදිංචිය දැන් ලංකාවේ. ඉතින් මේ දවස්වල මොනවද කරන්නේ? අලුත් වේදිකා නාට්‍යයකට කතා කළා. නමුත් තවම ඒ ගැන අවසන් තීරණයකට ආවේ නැහැ. ටෙලිනාට්‍ය පැත්තෙන් ඉරේෂ් ලොකුබණ්ඩාරගේ වරමද්දල කියන නාට්‍යයේ රූපගත කිරීම් කළා. ;හුස්ම වැටෙන මල් හි අවසන් කොටස් කිහිපය විකාශය වෙනවා, හදවතේ කතාව නාට්‍යයත් මේ දවස්වල රූ ගැන්වීම් සහ විකාශය වෙනවා, මොකද මෙගා නාට්‍යය නිසා දිගටම කෙරෙනවා, තව අලුත් නාට්‍යයකටත් සම්බන්ධ වුණා, ඒකෙ නම තාම හරියටම තීරණය කරලා නැහැ, ඉතින් ඔය වැඩ ටික තමා වෙන්නේ. කොහොමද චරිතයක් තෝරා බේරා ගන්නේ? මෙහෙමයි, ලොකුවට චරිතයක් තෝරා බේරා ගන්නවා කියන එක හරි අඩුයි, මොකද වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට චරිත තෝරා බේරා ගන්නවා කියන එක අද කරන්න අමාරුයි. මොකද එහෙම චරිත ලැබෙයිද නැද්ද කියන එක කියන්නත් ආමාරුයි. ඒ නිසා ලැබෙන චරිතය තුළින් යමක් කරන්න තමා හැම වෙලාවෙම උත්සහ ගන්නේ. සිනමාවට දායක වෙන්න ලැබුණු නිර්මාණ සීමිතයි කියලා හිතෙන්නේ නැද්ද? ඇත්තටම එහෙම හිතෙන්නේ නැහැ, මොකද මට සිනමාවේ ඉන්න දැවැන්ත අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා, රංගන පාසලකට ගියා වගේ තමා ඔවුන් එක්ක වැඩ කරන එක, විශේෂයෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් නිර්මාණය වන අම්මාවරුනේ චිත්‍රපටයේ මම හේමලතාගේ චරිතය කළා, මගේ අම්මට ඉන්නේ මාලනී ෆොන්සේකා මහත්මිය. මට ඒ වෙනුවෙන් 2006 සරසවි සම්මාන උළෙලේදී හොඳම සහය නිළියට හිමි සම්මානය සහ ජනාධිපති සම්මානය පවා ලැබුණා. ඒ වගේම මම මතක් කරන්නම ඕනේ මාව සිනමාවට හඳුන්වා දුන්නේ ලින්ටන් සේමගේ මහතා. ඒ මගේ වම් අත චිත්‍රපටය හරහා. ඒ වසරේත් ජනාධිපති සම්මාන උළෙලේ දී නැගී එන නිළියට සම්මානය ලැබුණා. ඊට අමතරව අසෝක හඳගම මහතාගේ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ වෙනස්ම චරිතයක් කළේ මම. මම හිතන්නේ මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කළා ඒ චරිතය, සෝමරත්න දිසානායක මහතාගේ සරිගම චිත්‍රපටයේ මම කරපු චරිතයටත් මම කැමතියි, එයටත් සරසවි සම්මානයක් ලැබුණා හොඳම සහය නිළිය ලෙස. ප්‍රසන්න විතානගේ මහතා එක්කත් මම වැඩ කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මම සිනමාවේ ලොකු ජනප්‍රිය චරිතයක් නොවුණට, මට ලැබුණු චරිත වෙනුවෙන් මම නිරන්තරයෙන් ඇගයීම්වලට ලක්වෙලා තියෙනවා. එකම එක අඩුවකට තියෙන්නේ හොඳම නිළියට හිමි සම්මානය නොලැබීම. ඒ ගැන දුක් වෙනවද? නැහැ, මොකද හොඳම නිළිය හෝ හොඳම සහාය නිළිය කියන්නේ ඒ කරන චරිතය හොඳින්ම කළා කියන එක. ඒ නිසා ඒගැන මම කනගාටු වෙන්නේ නැහැ. මම මට ලැබුණු හැම චරිතයකටම උපරිම සාධාරණය ඉෂ්ට කරන්න කැප වෙන කෙනෙක්. අවංකවම මම සතුටු වෙනවා මම ගොඩක් ජනප්‍රිය කෙනෙක් නොවුණත් මම කරපු නිර්මාණ ඇගයීමට ලක් වීම ගැන. කොහොමද මේ සියල්ලට ගෙදරින් ලැබෙන සහයෝගය? ඉතාම කාර්යබහුල ජීවිතයක් තමා මමත් මගේ මහත්තයා තරුත් (තරුපති මුණසිංහ) ගත කරන්නේ. හැබැයි මම මගේ වැඩවලට කොහොම හරි කාලය යොදා ගන්නවා. මවක් ගෘහණියක් විදියට මම හැමවෙලේම කාලය කළමනාකරණය කර ගන්නවා. මොකද කොච්චර කාර්යබහුල වුණත් ගොඩක් වෙලාවට අපි නොදැනුවත්වම කාලය අපතේ යන අවස්ථා තියෙනවා. මම කැමතියි කාර්යබහුල වෙන්න, මොකද මේ කාලයේ තමා අපිට වැඩක් කරගන්න තියෙන්නේ. කවි පොතක් එළිදැක්වූවානේ. කොහොමද ඒකට ලැබුණු ප්‍රතිචාර? ඔව්, හොඳ ප්‍රතිචාර ලැබුණා, හැබැයි කවි පොතක් කරන්න ඕනේ කියලා හිතාගෙන ලිව්ව කවි නෙවෙයි, මම නිතර කවි ලියනවා. මොකද මම හිතනවා මට පහසුම මාධ්‍ය ඒක. ඉතින් තරු තමා මට කිව්වේ පොතක් කරමු කියලා. ඊට පස්සේ තමා මමත් හිතුවේ කවි පොතක් කරන්න. බලමු ඉස්සරහටත් ඉතින් හොඳ නිර්මාණ එකතුවක් කරන්න. මේ අවුරුද්දෙත් අවසන් දින කිහිපය ඉදිරි වසරේ සැලසුම් මොනවද? එහෙමම කියලා ලොකු සැලසුම් නැහැ. මම කිව්ව අර වේදිකා නාට්‍යය පටන් ගත්තොත් ලබන අවුරුද්දේ අපිට අලුත් නාට්‍යයකින් හම්බෙන්න පුළුවන්. අනිත් ඒවා නම් මෙගා නාට්‍ය නිසා මේ දැනට විකාශය වෙන නාට්‍ය කිහිපයක් ඉදිරි වසරේදීත් දැක ගන්න පුළුවන්. අනුෂා රණසිංහ
 

More News..