brand logo

ලොක්කන් නටවන දකුණේ පොලිස් කුමාරි

30 June 2019

වැඩබලන ​පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත පසුගිය දිනෙක පොලිස්පති සහන මැදිරියේදී අපූරු විමර්ශනයක් සිදු කෙරුණේය. ඒ දකුණේ පොලිසි හොල්ලාගෙන සිටින බලවන්තියක් ගැනය. ඇයගේ නම කියූ පමණින් පොලිසියේත් ඇතැම් ලොක්කනන්ට දාදිය දමන්නේය. ඒ ඇයගේ කට ඇරියොත් තමන්ගේ සායම් සියල්ල සේදී යන බවත් දන්නා නිසාය. බලයේ සිටින පොලිස් ලොක්කන් සේම පැන්ෂන් ගිය පොලිස් ලොක්කොත් ඇයට වසඟ වී ඈ ඉදිරියේ දණ නවන්නේ තරු පටි ගැන වගේ වගක් නැතිවය. පොලිස් ලොක්කන්ද අල්ලේ නටවන ඇය පොලිස් කොස්තාපල්වරියක් වීම විශේෂම කාරණාවය. පොලිස් කොස්තාපල්වරියක වුවද කොණ්ඩය ස්ට්‍රේට් කර සිවිල් ඇඳුමෙන් පොලිස් රාජකාරියට පැමිණීමට පවා අවසර ඇත්තේ ය. මේ කියන බලවන්තිය ගැන වැඩබලන පොලිස්පතිවරයා ඉදිරියේ විමර්ශන කරන්නේ ඇය සේවය කරන පොලිසියේ ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී මෙන්ම දකුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයාවද කැඳවමින්ය. පැමිණිල්ල යුද හමුදාවේ කෝප්‍රල්වරයකු පොලිස් ස්ථානාධිපතිගේ කාර්යාලයේදී කෲර වධහිංසාවට ලක් කරමින් පහරදීමක් ගැනය. පොලිස් කුමාරිකාවගේ වුවමනාවට සිදුවූ පහරදීම ගැන පැමිණිල්ල මාස ගණනක් පොලිස් මූලස්ථානයේ පල්වෙද්දී දකුණේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කලක් සේවය කළ වැඩබලන පොලිස්පතිවරයා මේ අසාධාරණය ගැන සොයා බලා විමර්ශනය අරඹා තිබුණේය. වහාම පොලිස් කාන්තාවට ස්ථාන මාරුවක් දී තිහගොඩ පොලිස් ස්ථානාධිපති ලවා රහසිගත විමර්ශනයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් දෙන්නැයි පොලිස් ලොක්කන්ට නියෝග ලැබෙන්නේ පසුගිය 21 සිකුරාදාය. මේ අනුව ඇයව දකුණේම තවත් පොලිසියකට මාරු කරන්නට තංගල්ල පොලිස් අධිකාරී විසින් පියවර ගත්තේය. මෙම මාරුවෙන් කුපිත වූ පොලිස් කත පසුගිය සඳුදා (24) වියරු වැටී තංගල්ල පොලිස් බල ප්‍රදේශයේ ඉහළම ලොක්කකු සොයා යන්නේ ස්ථාන මාරුව හදා ගන්නටය. මැගේ පැටිකිරිය දැන සිටි පොලිස් ලොක්කා ඇයට දොස් පවරද්දී මාරාවේශ වූ ඇය පොලිස් ​ලොක්කාටත් සුපුරුදු අසභ්‍ය වදනින්ම අමතන්නේය. පොලිස් ලොක්කා කේන්තියෙන් පුටුව අතට ගෙන නිලධාරීන් කැඳවා මැයව අත්අඩංගුවට ගන්නට අණ දෙන්නේ කුණු හරුප වර්ෂාව මැදය. ‘‘මාව ඇරෙස්ට් කරන්න ඕන නැහැ.’’ කියා පොලිස් නිලධාරීන් ඉදිරියේ කෑ ගැසූ ඇය වහාම යන්නේ තමා සේවය කරන පොලිසියටය. එහිදි දුරකථනයකින්ම තවත් අයකුගෙන් උපදෙස් ලබාගනිමින් පොලිසියේ දෛනික තොරතුරු සටහන් පොතේ (RIB) පිටු එකහමාරක් සටහන් තබන්නේ පොලිස් ලොක්කා බැණ වැදීමෙන් තමා ආතතියට ලක්වූ නිසා රෝහල් ගත වන්නට යන බවටය. රාජකාරියට නොයා අසනීප නිවාඩු දැමූ ඇය දකුණේ රජ කරද්දී තිහගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම 27දා දහවල් මැයගේ මැර බලයට ලක්වූ හමුදා කෝප්‍රල් තුෂාර ඉන්දිකගේ සොහොයුරා කැඳවා ප්‍රකාශ ලබාගනිමින් විමර්ශන අරඹන්නේය. නිවාඩුවට ගමට ගිය තුෂාර මේ කියන පොලිස් බලවතීගේ මැර බලයට යටවන්නේ මාර්තු 23 දාය. පොලිසියේ කුමාරිකාවක බව දැන දැනම ඇයගේ නිවසට තුෂාර යන්නේ එකම ගමේ සිටින ඇගේ නැගණිය ඔහුට දුන් පණිවුඩයක් අනුව බිලක් රැගෙන එන්නටය. ‘‘එයාගේ නංගි ඉන්නේ මගේ කෑම්ප් එකට අල්ලපු කෑම්ප් එකේ. මම නිවාඩු යනවා කිව්වම ඒ නංගි කිව්වා ගෙදරට ගිහින් අයන් එකක් අරගත්ත බිලක් තියෙනවා. අක්කාගෙන් ඒක අරන් එන්න කියලා. මම එයාලගේ ගෙදරට ගිහින් ‘‘සීයේ සීයේ’’ කියලා තාත්තට කතා කළා. බාත්රූම් එකේ ඉඳන් එයා ඔළුව එළියට දාලා ඇයි කියලා මගෙන් ඇහුවා. ඔයා නාලා එන්න මම එතකම් ඉන්නම් කියලා මම එළියේ වාඩිවෙලා හිටියා. ටික වේලාවකින් මෙයා ‘‘තෝ මම නානවා බලන්න ආවද’’ කියලා කුණුහරුප කියාගෙන ආවා. ‘‘උඹ නානවා බලන්න නෙවෙයි ආවේ. නංගි බිලක් ඉල්ලන් එන්න කිව්වා ඒක අරන් යන්න ආවේ’‘ කියලා කියාගෙන මම ළඟ ගෙදරකට ගියා. ටික වේලාවකින් මෙයා ඒ ගෙදරට මල්ලිත් එක්ක ඇවිත් මගේ ටී ෂර්ට් එකෙන් ඇදලා ඉරාගෙන ඉරාගෙන ගියා. එයාගේ මල්ලි පොල්ලක් අරන් ගහන්න හදද්දි වට පිටේ හිටපු අය බේරලා මාව ගෙදර යැව්වා. ඊට පස්සේ අපේ ගෙදරට පොලිසිය ඇවිත් මාව හොයලා තිබුණා. තාත්තා නීතිඥවරයෙක් එක්ක මාව අරන් ගිහින් පොලිසියේ ඕ.අයි.සී.ට භාරදුන්නා. එදා හවස ඉඳන් පහුවදා උදේ වෙනකන් මම කූඩුවේ හිටියේ. උසාවි දාන්න කලින් මාව ඕ.අයි.සී.ගේ කාමරේට අරන් ගියා. ඕ.අයි.සී. මහත්තයා මට මුකුත් නොකියා කොන්දට ගැහුවා. මම බිම වැටිලා දඟලද්දි පොලිසියේ කුමාරිත් ඒ කාමරේට ආවා. ඕ.අයි.සී. මහත්තයා මගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙක අස්සේ හිරකරගෙන ඔයාට ඇතිවෙනකම් ගහන්න කියලා එයාට කිව්වා. කුමාරි මගේ මූත්‍රාශය, යටිබඩ, පැත්තට පයින් ගහගෙන ගහගෙන ගියා. මම තොගේ ආමි එකත් පීචං කරනවා කියලා කිව්වා. වලස්මුල්ල උසාවියට දැම්මට පස්සේ මට ඇප දුන්නා. ගෙදර එද්දි අමාරු වුණු නිසා වලස්මුල්ල රෝහලට ඇඩ්මිට් වුණා. පොලිසියේදි පහරදුන්නා කිව්වට මාතරින් අධිකරණ වාර්තාව ගන්න පොලිසිය ඉඩ දුන්නෙත් නැහැ. ටිකට් කපලා කෑම්ප් එකට යද්දි ආයෙත් අමාරු වුණා. මාව නාරාහේන්පිට ආමි හොස්පිටල් එකේ තියාගෙන දවස් අටක් ප්‍රතිකාර කළා. එතැනින් ජාතික රෝහලට යවලා අධිකරණ වෛද්‍ය නිලධාරිට යොමු කළා.’’ ඒ පොලිස් කුමාරිගේ කෲර වද හිංසාවන්ට මුහුණ දුන් හමුදා කෝප්‍රල් තුෂාර ඉන්දික අත්දැකීම හෙළි කළ අන්දමය. තුෂාර පලාලි හමුදා කඳවුරට යන විට පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ වරදට අත්අඩංගුවට ගත් බවට පොලිස් පණිවුඩයක් කඳවුරට ලැබී තිබිණි. වෛද්‍ය බළකායේ සේවය කරන කෝප්‍රල්වරයා තමන්ට අත්වූ ඉරණම ප්‍රධානීන්ට කියා වෛද්‍ය නිවාඩු ලබාගෙන නැවත ගමට ආවේය. ඒ තමාට කළ අසාධාරණයට එරෙහිව නීතියේ පිහිට පතන්නටත් එක්කය. තුෂාරගේ පියා පොලිසියෙන් වූ අසාධාරණය ගැන පොලිස් කොමිසමට, පොලිස් මූලස්ථානයට හා ජනාධිපතිවරයාටද ලිඛිතව පැමිණිලි කරන්නේ ඒ අතරය. තුෂාර ඉන්දිකට අත්වූ ඉරණමම රත්මල්ගම පැත්තේ සරසවි සිසුවකුට අත් කර දුන්නේද පොලිස් බලය පෙන්වන කුමාරිකාව විසින්ය. ඇයගේ කීමට පිටින් ගිය නිසා සරසවි සිසුවාට එරෙහිවත් පොලිසියේ බොරු පැමිණිලි දමා නීතියේ බලය තමාගේ අතේ තිබෙන හැටි ඇය පෙන්වා දී තිබුණි. ඇයත් සමග ප්‍රේමචාරිකාවක් ගිය තංගල්ල ​පොලිස් කොට්ඨාසය භාරව පැමිණි සිංහයකු මෙන් සිටි පොලිස් අධිකාරීවරයකු බරපතළ අමාරුවකද වැටුණේය. ඒ ඇයත් සමග යමින් සිටියදී ඔහු පැදවූ ඩිෆෙන්ඩර් රිය වීරකැටිය ප්‍රදේශයේ වෙලකට පෙරළීමෙනි. පොලිස් අධිකාරිවරයාට ජීවිතය අනතුරේ දමා ගෙන මඩේ ලගින්නට වූයේ ඈ නිසා වුවද අනතුරින් පසුව ඔහු තම රාජකාරි පිස්තෝලය ඇයට දී නිල නිවාසයට යවා සිද්ධිය යටපත් කරන්නට උත්සාහ කළේය. පොලිස්පති යටතේ ක්‍රියාත්මක වන වි​ශේෂ විමර්ශන ඒකකය පැවැත්වූ විමර්ශනයේදී මෙකී සුරූපිනිය ඩිෆෙන්ඩර් රථයේ සිටි බව සනාථ විය. මේ නිසාම ජීප් රථයට වූ අලාභය ලෙස රුපියල් ලක්ෂ දොළහක් ගෙවන්නට සිංහ ලීලාවෙන් ආ පොලිස් ලොක්කාට සිදුවිය. මේ කියන කුමාරිගේ තවත් තොරතුරු සොයා අප තංගල්ල පොලිස් කොට්ඨාසය පුරා සැරිසරද්දී ඇගේ පැටිකිරිය හෙළිවන්නේ විලිලජ්ජා නැති පොලිස් ලොක්කන්ගේ කෙරුවාවද සමගය. ‘‘මෙයා කලින් හිටියේ මිද්දෙණියේ පොලිසියේ. රෑට එයා හිටියේ ඕ.අයි.සී.ගේ ක්වාටස් එකේ. ඕ.අයි.සී. පොලිසියේ ක්ලාස් එක තියන්නෙ කීයටද කියලා අහන්නෙත් මෙයාගෙන්. අන්තිමට ඒ ඕ.අයි.සී. මහත්තයා වෙන කේස් එකකට ඉන්ටඩික් වෙලා ගියා. ඊට පස්සේ ආපු ඕ.අයි.සී. ත් මෙයාගේ මායමට අහුවුණා. අන්තිමට ජීප් එකේත් මඟුල් නටන්න ගියාම එයාව ඇල්පිටියට මාරු කළා. පොලිසියේ රඟන මේ අනඟ රැඟුම් නොරිස්සූ කිහිප දෙනකුම අප වෙත කියා සිටියහ. පොලිස් මූලස්ථානයෙන් තොරතුරු සොයා බලද්දී ද ඇය ගැන පොලිස් මූලස්ථානයේත් නොදන්නා අයකු නොමැති තරම්ය. පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුව සිට කරුණාවට බර පොලිස් ලොක්කකු ප්‍රසිද්ධියේ මැය සමග ඉඳ තිබුණි. ඒ ලොක්කා ඩී.අයි.ජී. තනතුරට උසස් වූ පසුවත් ඇය යන යන තැනට ගොස් ඇයත් සමග පෙම්සුව විඳි බව පොලිසියේ ඉහළ සිට පහළටම දන්නා කරුණකි. මිද්දෙණිය පොලිසියෙන් ඇල්පිටිය පොලිසියට එන ඇයට වැඩි කාලයක් එහි සිටින්නට නොහැකි විය. ඒ ඇල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු හා ඇයගේ රැඟුම් පොලිස් පොඩ්ඩන් වීඩියෝ කිරීමේ සිද්ධියක් නිසාය. එතැනින් මාතර කොට්ඨාසයට මාරුවීම් ලබන ඇය මාතර පෙදෙසේ රෝහලක වෛද්‍යවරයකු සමග විවාහ වූවාය.එහෙත් ඒ විවාහය වැඩි කලක් පැවැතුණේ නැත්තේද ඇයගේ මේ අනඟ රැඟුම් නිසාය. ‘‘ගිය මාසෙ මැද දවසක පැටියයි, පොලිස් ලොක්කයි පොලිසියේදී රණ්ඩු වෙලා. ඊට පස්සේ ඕ.අයි.සී.ගේ කාමරේ තිබුණු ඇස් කණ්ණාඩියයි, සීල් එකයි කඩලා, බුදු පහන පෙරළලා, දණ්ඩ නීති සංග්‍රහ පොත්වලටත් තෙල් දාලා පැටියා ගිහින් තිබුණා. කණ්ණාඩි දෙක අස්ථානගත වූ නිසා තොරතුරු පොත් කියවන්න විදිහක් නෑ කියලා ඕ.අයි.සී. ක්වාටස් එකෙන් එළියටවත් බැස්සේ නැහැ. ඊට පස්සේ ඇක්ටින් ඕ.අයි.සී. කණ්ණාඩි දෙක නැතිවුණ එකට එස්.අයි. කෙනකු දාලා විමර්ශනයක් කළා. එතැනදි එස්.ටී.ඕ. රිසව් දෙන්නගෙන් කට උත්තර ගනිද්දි ලොක්කගේ පොලිස් පැටික්කි හතර පාරක් ඒ කාමරයට ඇවිත් ගියා කියලා කියවුණා. එතැනින් එහාට ඉන්ක්වරිය නවත්තලා අත්වැරදීමකින් තෙල් හැලුණා කියලා ලොක්කා නෝට් එකක් දාලා තිබුණා. ඕ.අයි.සී. මෙතැනදි එයාගේම වළ කපාගෙන තිබුණා.’’ තංගල්ල කොට්ඨාසයේ නිලධාරීන් කිහිප දෙනකුම ඒ කාරණය අනාවරණය කළේය. දකුණේ පොලිස් නිලධාරීන් දැන් බලා සිටින්නේ වැඩ බලන පොලිස්පතිවරයා හෝ මේ පොලිස් කුමාරිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. සඳරුවන් පලිහේන
 

More News..