brand logo

ලේ බැංකුවේ රුධිර හිඟය නැති කරන්න යුධ හමුදාව එක්වෙයි

07 April 2020

දිවයිනේ උද්ගතව ඇති 'කොවිඩ් - 19' ව්‍යාප්තිය හේතුවෙන් ජාතික ලේ බැංකුවේ පවතින රුධිර හිඟයට පිළියමක් ලෙස කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි රෝහල් වල මේ වන විට දින 14 ක කාලයක් පුරා 'ලේ දන්දීමේ' වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව 141 වන බල සේනාවේ සේනාධිපතිගේ අධීක්ෂණය මත ගම්පහ රජයේ රෝහල් කාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලදේ ලේ දන් දීමේ වැඩසටහන 2020 අප්‍රේල් මස 05 වැනි දින රෝහල් පරිශ්‍රයේ දී පවත්වන ලද අතර, 141 වන බල සේනාවේ සේවයේ නිරත නිලධාරීන් සහ සෙසු නිලයින් 73 දෙනෙකු රුධිරය පරිත්‍යාග කිරීමෙන් ඒ සඳහා දායක වූහ. මේ අතර කිලිනොච්චි ලේ බැංකුවේ පවතින රුධිර හිඟය සපුරාලීමේ අරමුණින් කිලිනොච්චි දිස්ත්‍රික් මූලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස 3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් 2020 අප්‍රේල් මස 02 වැනි දින එම බලඇණි මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී. කිලිනොච්චි දිස්ත්‍රික් රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය මත සංවිධානය කරන ලද එම වැඩසටහන සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් දායක වූහ. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බීපීඑස් ද සිල්වා සහ 574 වන බල සේනාවේ බල සේනාධිපති යන නිලධාරීන්ගේ මෙහෙයවීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
 

More News..