brand logo

ලේක් හවුස් එකේ අමුතු සතෙක්

29 December 2019

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පහුගිය සතියේ ‘පත්තර මහගෙදරට’ හෙවත් ‘ලේක්හවුස් ආයතනයට’ පැමිණියේ ය. ඒ පාඩු ලබමින් පවතින ලේක්හවුස් බංකොලොත්වීමට බලපෑ කරුණු කාරණා සොයා බැලීමට ය. රාජ්‍ය අමාත්‍යවරයා සමග ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාද මෙම චාරිකාවට එක්ව සිටියේ ය. උදෑසන දහයට පමණ ලේක්හවුස් ආයතනයට පැමිණි අමාත්‍යවරයා මුලින්ම සභාපතිවරයා ඇතුඵ අධ්‍යක්ෂ මණ්ඩලයත්, පුවත්පත් කතුවරුන් හා අංශ ප්‍රධානීන්වත් මුණගැසුණේ ය. ඉන් අනතුරුව සියලුම වෘත්තීය සමිති නියෝජිතයින්ද හමුවී ලේක්හවුස් ආයතනය නගා සිටුවීමට කළ හැකි දෑ පිළිබඳව සාකච්ඡා ක‍ළේය. මෙම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික සේවක සංගමය හා ලේක්හවුස් සුරැකීමේ සංවිධානය යන සංවිධානවල නියෝජිතයෝ සහභාගි වී සිටියහ. මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ලේක්හවුස් ආයතනයේ පවතින අක්‍රමිකතා පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයාව දැනුවත් කළේය. මෙම කතාබහ අතරතුර ‘ලේක්හවුස් ආයතනයේ සාරය උරා බොමින් මහත් වන එක්තරා අමුතු සතෙකු’ ගැන ද හෙළිදරව්වක් විය. ඔහු ලේක්හවුස් ආයතනයේ වෙළඳ කළමනාකරුවකු ලෙස කටයුතු කරන බවත්, මාසිකව ලක්ෂ දෙකහමාරකට වැඩි වැටුපක් ලබන බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ රාජ්‍ය අමාත්‍යවරයාට පැවසූහ. ‘‘සර් මේ පුද්ගලයා අංශ ප්‍රධානියාටවත් වග කියන්නැති කෙනෙක්... සභාපතිට විතරයි කෙළින්ම කතා කරන්නෙ... මේ වගේ අය ඉහළ පුටුවලට පත්කරගෙන ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන යහපත් දේවල් නම් සිද්ධ වෙන එකක් නෑ...’’ සේවකයෝ එකහඬින් ම කීහ. ‘‘මම මේ ගැන හොයලා බලන්නම්... ඊට අමතරව මේ ආයතනයේ තවත් ප්‍රශ්න ගොඩක් තියෙන බව මම දන්නවා... ඒ වුණත් අපි හැමෝම මහන්සි වුණොත් ලාභ ලබන තත්ත්වයට පත් කරගන්න බැරි කමකුත් නැහැ... ’’ අමාත්‍ය ලක්ෂ්මන් යාපා කීවේ ය. සාකච්ඡාව අවසානයේ දී සියල්ලන්ගෙන් ම ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ක්‍රියාත්මක කරමින් මාස තුනක් තුළ ලේක්හවුස් ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කළ හැකි ක්‍රමවේදයක් ද සකස් කිරීමට පියවර ගැනිණි. ‘‘තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා... මින් ඉදිරියට රජයේ පුවත්පත්වලින් චරිත ඝාතන, මඩ ප්‍රචාර සිද්ධවෙන්න බැහැ... ඒ වගේම පාඨකයින්ට විශ්වාසදායක ප්‍රවෘත්ති දෙන්නත් වගබලාගන්න ඕනෑ... මේ තියන තාක්ෂණික දියුණුවත් එක්ක බොරු ප්‍රවෘත්ති දැම්මොත් ඒ ආයතන පිටින්ම විහිළුවට ලක්වෙනවා... හැම කෙනෙක්ම මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන... ආයතනයේ කීර්තිය වගේම තම තමුන්ගෙ ‘බයි ලයින් එකේ’ කීර්තියත් ආරක්ෂා කරගෙන වැඩ කරන්න...’’ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා වැඩිදුරටත් කීවේ ය. මේ ආකාරයට ලේක්හවුස් ආයතනයේ සෑම අංශයකට ම යමින් එමින් පුරා පැය හයක් පමණ එහි රැඳී සිටියේ ය. මෙහිදී වඩා වැදගත් ම කාරණය වූයේ, එ.ජා.ප.යට සම්බන්ධ ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිතිය ද රාජ්‍ය අමාත්‍යවරයාගේ පැමිණීම මෙන් ම යෝජනාත් සතුටින් පිළිගැනීම ය. ‘‘අවංකවම මේ අලුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත්, මාස තුනක් නෙවෙයි මාස දෙකක් යන කොට ලාභ උපද්දන්න පුළුවන්...’’ ඔවුන් ද රාජ්‍ය අමාත්‍යවරයාට කියා තිබිණි.
 

More News..