brand logo

ලෙස්ටර්ට ලියූ පිටපත ලක්ෂ්මන්ට

15 June 2019

සුදු හාමිනේ, සවීනා, නිසල විල්තෙර, සසර බැඳි බැමි, හඳපානාගල, සඳකිඳුරී, තිමිර ගිර ආදී අතිශය ජනාදරයට පත් ටෙලි නාට්‍ය තිස් ගණනක් අධ්‍යක්ෂණය කළ පබසරා, මුතු වරුසා, වන්දනා, ඉතින් ඊට පස්සෙ, ඇතුළු ටෙලි නාට්‍ය පනහකට ආසන්න ගණනක් තිර රචනය කළ ලක්ෂ්මන් පුෂ්පකුමාර නම් සම්මානනීය නිර්මාණවේදියාගේ අලුත්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වන ‘රන් බැඳි මිනිස්සු’ මේ දිනවල විකාශය වේ. ඒ ගැනත් ඔහුගේ කලා භාවිතාව ගැනත් අප ඔහු හා කතාබහ කළා. “අපේ පවුලේ කිසිම අයෙක් කලාවට සම්බන්ධ නෑ. කොළඹ කොච්චිකඩේ මගෙ උපන් ගම. මොරටුව ලක්ෂපතියේ ශිෂ්‍යදාන විද්‍යාලය, මෝදර ආනන්ද විද්‍යාලය, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය මම ඉගෙනගත් ඉස්කෝල, ජනාධිපති බාල දක්ෂයෙක් ලෙස මම හිටියා. එතකොට ගිනිමැල සංදර්ශනවල අපි ක්ෂණික නාට්‍ය කරනවා. ජම්බෝරිවල කරනවා. අපේ දහම් පාසල මට්ටක්කුලිය ශ්‍රී ගාමිණි දහම් පාසල මට හොඳ තොතැන්නක් වුණා. කොළඹ විශ්වවිද්‍යාලය, කතෝලික සිනමා පර්ෂදය, ජාතික තරුණසේවා සභාවේ නිස්කෝ වීඩීයෝ ඒකකය වැනි ආයතන මට රුකුලක් වුණා දැනුමෙන් සන්නද්ධ වෙන්න.” ලක්ෂ්මන් පුෂ්පකුමාර 1987 වටරවුම නමින් වේදිකා නාට්‍යයක් කරමින් වේදිකාවට පිවිස ඇත. 1993 බොල් පොළොව ටෙලි නාට්‍ය පිටපත ලියමින්ද, 1995 කප්රුක සෙවණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින්ද හේ රූපවාහිනී මාධ්‍යයට පිවිස ඇත. “මම ධීවර අමාත්‍යාංශයේ ධීවර පරීක්ෂකයෙක් ලෙස රස්සාව කළා. කලා කටයුතු සඳහා වෙලාව යොදා ගැනීමේ ගැටලු නිසා කලක් නිහඬව හිටියා. 2000 වසරෙදි අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ ‘භීෂණයේ අතුරු කතාවක්’ චිත්‍රපටයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය කළා. ඒ එක්කම අනික් නිර්මාණ කටයුතු එක දිගට කළා.’’ ශ්‍රී ලංකාවේ කෘතහස්ත තිර පිටපත් රචකයෙකු වූ නැසීගිය සෝමවීර සේනානායකයන් ලියූ ‘රන්බැඳි මිනිස්සු’ ලක්ෂ්මන්ට ලැබීම පිළිබඳ නිහතමානී ආඩම්බරයකින් පසුවේ. මේ පිටපත සෝමවීර මහත්තයා ලියා තිබුණේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාට, ලෙස්ටර් මහත්තයාට මේක කරන්න වුණේ නෑ. සෝමවීර මහත්තයා ලියූ ‘එකගෙයි මිනිස්සු’ සිවා අයියාගේ ඇරයුමින් වැඩි කොටසක් මම කළේ. ඒ කරද්දි මට මේ පිටපත කරන්න සෝමවීර මහත්තයා දුන්නා. සෝමවීර සේනානායකයන්ගෙ අවසන් ටෙලි පිටපත මේ. මේක බොහොම ගෞරවයෙන් වුවමනාවෙන් කැපවීමෙන් අපේ කණ්ඩායම කරන්නෙ.” 1941-1945 කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන, ආගමික සංස්කෘතික වටපිටාව පසුබිම් කර ආකර්ෂණීය කතා තේමාවක් සහිත මේ නාට්‍ය නිෂ්පාදනය සුළු පටු කරුණක් නොවේ. ඒ දැවැන්ත පිරිවැය දරන්නට ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ මිත්‍රයෙකුම ඉදිරිපත්ව තිබේ. “රන්බැඳි මිනිස්සු නිෂ්පාදක ගාමිණි සෝමරත්න මහත්තයා. මේ පිටපත ගාමිණියි මායි කියෙව්වාම ගාමිණී මේක කරමු කිව්වා. මම යන වියදම් ගණන් බලා මේක ලාභ ලබන්න බෑ. ගාමිණී ඒ නිසා නොකර ඉමු කිව්වා. ඒත් ගාමිණී කිව්වා පාඩු දරාගෙන මම මේක කරන්නම්, මිනිස්සුන්ට හොඳ නිර්මාණයක් බලන්න ඉඩක් ලැබෙනවා නම් ඇති කියා. ඇත්තෙන්ම ඒ දැවැන්ත පිරිවැයම නාට්‍ය විකාශයෙන් නිෂ්පාදකට ලැබෙන්නෙ නෑ. නමුත් ගාමිණී සෝමරත්න කියන කලාකාමී මිනිසා ඒක කරනවා. අනික ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්.” කුලියාපිටිය, නුවර, උඩිස්පත්තුව, ගිරිඋල්ල, රිදී බැඳි ඇල්ල, ආදී ප්‍රදේශ මුල් කරගෙන රන්බැඳි මිනිස්සු ටෙලි නාට්‍යය වෙනුවෙන් දර්ශන රූගත කෙරේ. “රන්බැඳි මිනිස්සු කෙරෙන්නෙ රිදී බැඳි ඇල්ලේ කිව්වොත් හරි. ඒ ඒ ගම්වල මිනිස්සු ලොකු කුඩා කවුරුත් අපට පුදුම සහයෝගයක් දෙනවා රූ ගත කිරීම් සඳහා. ලංකාවට නිදහස ලැබීම තෙක් වසර කීපයක ඉතිහාසය විධිමත් පාසල් සඳහා අවස්ථා ලැබීම් ඇතුළුව මහා ඉතිහාස කතාවක් මෙයින් නිරූපණය වෙනවා.” ඓතිහාසික තේමාවක් සමග කෙරෙන නිර්මාණකරණයක් යනු සුළු පටු කාර්යයක් නොවේ. රංගන ශිල්පීන් ශිල්පිනියන් නම් තිරයේ පෙනුණද ඔවුහු පමණක් නොව ඒ සඳහා පසුබිමේ වෙහෙස වන්නෝ බොහෝය. “රන්බැඳි මිනිස්සු එකේ මගෙ කණ්ඩායම අපමණ වෙහෙසෙනවා. නිෂ්පාදක ලෙස ගාමිණී සෝමරත්න, මගේ සහාය අධ්‍යක්ෂවරයා චමින්ද උඩවෙල, දෙවන සහාය අධ්‍යක්ෂවරයා නලින්ද ධර්මසිරි, නිෂ්පාදන කළමනාකරු අකලංක ඉන්ද්‍රජිත්, කැමරා අධ්‍යක්ෂණයෙන් තුසිත අනුරාධ හා පී.කේ.ලෙනාඩ්, සංගීතය රෝහණ වීරසිංහ, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරන්බොඩ, සංස්කරණය සමීර සම්පත් ,අංග රචනා ප්‍රේමලාල් ලියනගේ, ඇඳුම් නිර්මාණය දිලිනි පවිත්‍රා අබේසිංහ, සටන් අධ්‍යක්ෂ සුමුදු, විවිධ සහාය මගේ පුතා මිථුන මහර්ශි.  උපස්ථායක කාර්යය ප්‍රදීප් කුමාර ඇතුළු පිරිවර පසුබිමේ ඉන්නවා. ප්‍රවීණ රංගවේදීන් රංගවේදිනියන් වගේම සාමාන්‍ය අතුරු චරිත සඳහා ඒ ඒ රූගත කරන ගම්වල දරුවන් හා වැඩිහිටියන් දෙබස් සහිත කොටස්හිත් රඟපෑමෙන් එක් වෙනවා. මුළු සෙට් එකම රංග පාසලක් වගේ වෙලාවකට.” අතීතයේ අප රටෙහි පැවති ගුප්ත විද්‍යා ශාස්ත්‍රය ගැනත් පාරම්පාරික වෙදහෙදකම්හි විස්මයත් එක් කර ප්‍රේක්ෂකයාට ආනන්දයත් ප්‍රඥාවත් ඇති කරවන්නට සමත් උසස් ටෙලිනාට්‍යක් ලෙස රන්බැඳි මිනිස්සු රටේ අවධානය දිනා තිබේ. “අපට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. එයින් පණිවිඩයක් කියැවෙනවා. කොතරම් කසි කබල් විදෙස් නාට්‍යවලට බලෙන් ඇබ්බැහි කෙරෙව්වත් වර්තමානයේත් උසස් නිර්මාණ පිපාසාවක් සහිත රූපවාහිනී ප්‍රේක්ෂකයන් ඉන්නවා. බලෙන් මොනවා එබුවත් ඔවුන් වැලඳගත යුතු දේ පමණයි වැලඳගන්නේ. තව තවත් ඒ රසික පරම්පරාවට ගුණාත්මක නිර්මාණ අවශ්‍යයි. මාඋපන් කරුණ ලෙස මට හිතෙන්නේ, ආන්න ඒ ගුණාත්මක දෑ සමාජගත කිරීමේ කාර්යයි. ජයන්ත සුබසිංහ
 

More News..