brand logo

ලෙබනන් - මාලි ගිය සෙබළුන් 350 ක් හිරවෙලා

23 March 2019

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වසරක ගිවිසුම් කාලයකට ලෙබනනය හා අප්‍රිකාවේ මාලි රාජ්‍යය බලා ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් හා සෙසු නිලවල තුන්සිය පනහක් යළි මව්රටට පැමිණීමට නොහැකිව සිරවී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සති අග අරුණට අනාවරණය කළේ ය. ලෙබනනයේ සාම සාධක මෙහෙයුම් සඳහා ගිය නිලධාරින් දස දෙනකු ඇතුළු එකසිය පනස් දෙනකුත්, මාලි දේශයේ මෙහෙයුමට ගිය දෙසීයක කණ්ඩායමකුත් මෙලෙස මෙරටට ඒමට නොහැකිව සිටින බව අනාවරණය විය. 2017 පෙබරවාරි මාසයේ ලෙබනනය බලා ගිය ගැමුණු රෙජිමේන්තුවට අයත් නිලධාරින් හා සෙසු නිලයන්හි එකසිය පනහක් සාම සාධක මෙහෙයුම අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වූයේ 2018 පෙබරවාරියේදීය. 2017 දෙසැම්බර් විසිපස් වැනිදා මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංග්‍රාමික ප්‍රවාහන බලඝනයේ රාජකාරි සඳහා ගිය පාබල රෙජිමේන්තුව මුල්කරගත් දෙසීයක කණ්ඩායම මාලි බලා ගිය අතර මෙහෙයුම අවසන් කර මෙරටට ඒමට නියමිත වූයේ 2018 දෙසැම්බරයේදීය. ලෙබනන්වල සිටින භට කණ්ඩායමට මෙරටට පැමිණීම සඳහා ලුතිනන් කර්නල් වසන්ත හේවගේ යටතේ එකසිය පනහක කණ්ඩායමක් පුහුණුවීම් අවසන් කර 2018 පෙබරවාරියේ එහි යාමට සූදානම් වුවත් අණදෙන නිලධාරි ඇතුළු 101 දෙනකුට නිෂ්කාෂණ වාර්තා ලබා නොදීම හමුවේ අද වනතුරු එම කණ්ඩායමට එහි යාමට නොහැකි වී ඇත. මේ නිසා වසර දෙකකට පෙර ලෙබනනයට ගිය භට පිරිස් හා නිලධාරින්ට මෙරටට පැමිණීමට නොහැකි වී ඇති බවත්, මෙමගින් ඔවුන්ගේ පවුල්වල අත්‍යවශ්‍ය කාරණාවලදීවත් ඔවුනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී ඇති බවත්, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියෙක් අනාවරණය කළේ ය. මාලි බලා යාමට පුහුණු කළ දෙසීයක කණ්ඩායම වෙනුවට යාමට සිටි කණ්ඩායමටද මෙතෙක් නිෂ්කාෂණ ලබා දී නොමැත. මෙය ශ්‍රී ලංකා නිලධාරින් හා සෙබළුන්ගේ මානව හිමිකම් කඩකිරීමක් බවද ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පෙන්වා දෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සාම සාධක මෙහෙයුම් සඳහා යන නිලධාරින්ට හා සෙබළුන්ට නිෂ්කාෂණ වාර්තා ලබා දී තෝරා ගනු ලැබූවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත එම කාර්යය පැවරීමෙන් පසු වසරක් තිස්සේ නිෂ්කාෂණ වාර්තා ලබා නොදීම මෙම ගැටලුවට හේතු වී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානියෙක් ‘සති අග අරුණ’ කළ විමසුමකදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඊළාම් යුද්ධයට සම්බන්ධ වූ නිලධාරින් හා සෙබළුන්ට නිෂ්කාෂණ වාර්තා නොදීමට කටයුතු කිරීම මීට හේතුව බවද වාර්තා වී ඇත. මේ සම්බන්ධ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ආරක්ෂක අමාත්‍යාංශය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවද දිගින් දිගටම දැනුවත් කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශය මගින් උද්ගතව ඇති ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ඇමෙරිකානු තානාපති කාර්යාලයද දැනුවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානියෙක් අනාවරණය කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිෂ්කාෂණ ලබාදීමේදී එය වේගයෙන් සිදු වූවත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එය භාරදීමෙන් පසු ඍජුවම යුද මෙහෙයුම්වලට සම්බන්ධ නොවුණු අය පමණක් තේරීමට ගැනීමෙන් සාම සාධක මෙහෙයුම් හා පාඨමාලාවලට යෑමට සිටි නිලධාරින්ට පවා මෙතෙක් නිෂ්කාෂණ නොලැබී ගොස් ඇති බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය. හමුදා සෙබළුන්ට නව නිෂ්කාෂණ දීමට තමන්ට අන්තිමට අණදුන් නිලධාරින් දස දෙනා ගැන වාර්තාවක් දෙන්නැයි මානව හිමිකම් කොමිසම දන්වා ඇත. මෙරට මානව හිමිකම් කොමිසමකට භාරදුන් නාම ලේඛනවලින් සුඩාන මෙහෙයුමකට යැවීමට බඳවාගත් සිවිල් වෛද්‍යවරුන් සිව් දෙනකුට පමණක් දැනට නිෂ්කාෂණ ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පෙන්වා දුන්නේය. මානව හිමිකම් කොමසමේ ප්‍රමාදය නිසා සිරවී සිටින හමුදා කණ්ඩායම් ගැන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන දීපිකා උඩුගම මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ යුද හමුදාපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටින බවය. කෙසේ වෙතත් මානව හිමිකම් කොමිසමේ නිෂ්කාෂණ වාර්තා නිසා වන ප්‍රමාදයෙන් ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා භට කණ්ඩායම් යැවීම අර්බුදයක් විය හැකි බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු පෙන්වා දෙති. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..