brand logo

ලෙඩට බෙහෙත ළිඳ කැපුවෙමු

28 July 2019

හෝමාගම ගොඩම පදිංචි රංජිත් දිසානායක හා මේනකා ගම්ලත් යුවළට දාව උපන් දරු දෙදෙනාගෙන් වැඩිමලා වූයේ සජීව දිසානායකයි. ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙකි. එමෙන්ම ලංකාවේ යොවුන් පරපුර ඔහුව ගායකයෙකු ලෙසද හඳුනයි. සජීව හෝමාගම ගොඩගම සුභාරති විද්‍යාලයෙන් පහ වසර ශිෂයත්වය සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයට තේරී එහි අධ්‍යාපනය ලද අයෙකි. පසුගිය 28 දාට යෙදී තිබුණේ ඔහුගේ තවත් ජන්ම දිනයකි. ඔහුට මේ ජන්ම දිනයේදී කුමක් හෝ විශේෂ වූ සැමරුම් කර්තව්‍යයක් කරන්නට සිත් වූවෝය. ඊට වස්තු බීජයක්ද ඊට පෙර ඔහුගේ නෙත ගැටී තිබිණි. ‘‘මට 2016දී අන්තර්ජාලයෙන් නරඹන්න ලැබුණා මහියංගණය පැත්තේ දරුවන් දෙදෙනෙක් මුළු ඇඟම තුවාල වී සුව කරගත නොහැකි රෝගයකින් පෙලෙන බව. මෙයාලට මොකක් හරි උදව්වක් කරන්න තියේනම් මට හිතුණත් ඒක ටිකෙන් ටික මගහැරුණා. ඊට පස්සේ මෑතක මම දැක්කා මුළු ඇඟම තුවාල සහිත රෝගයකින් පෙළෙන දරුවන් දෙදෙනකුට අවශ්‍ය ක්‍රීම් වර්ගයක් හැකිනම් ලබාදෙන්නැයි තවත් ඉල්ලීමක්. ඒ 2016දී මම දැක්ක දරුවෝ නේද මේ කියා ඒ වෙ ලේ මතක් වුණා. ඒ වෙලාවේ සිටම මම එයාලව සොයාගන්න මහන්සි වුණා. සජීව කෙසේ හෝ තමන් සොයන පවුලේ අය පදිංචි ස්ථානය සොයාගෙන තිබිණි. ජුනි පළමු වෙනිදා සිය හිත මිත්‍ර මෙලන් වෙත්තසිංහ සමග සිය මෝටර් රථයෙන් හෝමාගම සිට මහියංගණය ඔරු බැඳිවැව මීවාගල ගම්මානය බලා ගමන් කළේ ඔවුන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි බලන්නටයි. ‘‘අපි කුරුණෑගල පැත්තෙන් ගියේ ටිකක් දුර ගමනක්. මහියංගණේ පහු කරලා බදුල්ල පාරේ 49 කණුව ආසන්නයෙන් හැරිලා ඔරුබැඳිවැව මීවාගලට ගියා. ඒ පවුලෙ අයව දැක්කම අනිවාර්යෙන්ම මේ අයට උපකාරයක් කරන්න ඕන කියලා හිතුණා. මොනවද අත්‍යාවශ්‍යම දේ කියා ඇහුවම ඔවුන් කිව්වේ වතුර අවශ්‍යතාවය හා රෝගය යම් සහන මට්ටමකට ගන්න හැකි බේත් අවශ්‍ය බව. ඒ ගමනේදී සජීව මේ රෝගී පවුල පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සොයා ගත්තේය. මහියංගණය ඔරුබැඳිවැව මීවාගල ගමේ කඳු ඉහළට වන්නට පදිංචි එගමෙහිම උපන් යුවලක් වන ඊ.ජී. පුංචි බණ්ඩාර සහ බණ්ඩාර මැණිකේ කුඩා කළ සිට දන්නා හඳුනන ඇවැස්ස නෑනා මස්සිනා වූහ. මේ දෙදෙනා විවාහ වූවද බණ්ඩාර මැණිකේට වඩා පුංචි බණ්ඩා අවුරුදු 10කින් පමණ වයසින් බාලය. මේ කිසිවක් ඒ ආදරයට බාධාවක් වී නැත. විවාහ වී කලක් ඉතා සතුටින් ගත කළ ඔවුහු ජීවිකාව ලෙස ගොඩ මඩ ගොවිතැන් පත්කරගෙන තිබිණි. විවාහ වූ යුවතිපතීන්ගෙ සිහින මල් ඵලගන්වමින් බණ්ඩාර මැණිකේ ගැබ් ගත්තීය. දහසක් පැතුම් සමග වින්නඹු මාතාවකගේ සහය ඇතිව නිවසේදී ඔවුන්ගේ කුළුඳුල් පුතු ගුණරත්න උපත ලැබුවේය. දරුවා ලැබුණ පසු දෝතට ගන්නටත් ප්‍රථම රෝහල් ගත කරන්නට ඔවුන්ට සිදුවන්නෙ දරුවාගෙ සිරුර පුරා හම රැලිවැටී පුපුරා තුවාල ඇති බැවිනි. මහියංගණය රෝහලෙන් බදුල්ලට මාරුකර යැවුනත් රෝගයේ සුවයක් නොවුණ තැන වෛද්‍යවරු කියා තිබුණේ නිවසේ දරුවා ලැබුණ බැවින් විෂබීජයක් ගොස් ඇති බවකි. කෙතරම් දරුණු රෝගී තත්ත්වයක් සහිත වුවද දෙමාපියන්ට දරුවන් යනු මාහාර්ග වස්තූන්මය. බණ්ඩාර මැණිකේත් පුංචි බණ්ඩාත් සිරුරු පුරාම පුපුරමින් තුවාල වන රෝගයක් සහිත තම පුතු විවිධ ප්‍රතිකාරයන්ට යොමු කරමින් ආදරයෙන් රැකබලා ගත්තේය. පුතු ඉපැදි වසර පහකින් තවත් දරුවෙකු කුසට පැමිණියෙන් මෙදානම් ඔවුහු මහියංගණ රෝහල දරු ප්‍රසූතියට තෝරා ගත්හ. දෙවන දරුවා ලැබිණි. ඒ දියණියකි. අවාසනාවකට ඈද එම රෝගය සහිතවම උපත ලබා තිබුණි. එවර වෛද්‍ය මතය වූයේ මේ ජානගත රෝගයක් බවය. එබැවින් තවදුරටත් දරුවන් නොසාදන ලෙස වෛද්‍ය උපදෙස් විය. මුළු සිරුර පුපුරා වේදනාවෙන් සිටින තුවාල සුව නොවන මේ රෝගී තත්ත්වයත් සමග දරුවන් දෙදෙනාම රැක ගැනීම, ප්‍රතිකාර කර ගැනීම දිළිඳු ඔවුන්ට පහසු කාර්යයක් නොවීය. හරි හමන් නිවසක් හෝ නොමැතිව ජලය ඇතුළු මූලික අවශ්‍යතා හෝ සපුරාගත නොහැකි ඔවුන් ඒ දරුවන් හැදූහ. එයාලගෙ නිවස සොයාගෙන යන එකම මහා දුෂ්කර කාර්යක් කොහොම හරි ජුනි පළමුවෙනිදා ගියා. වාහනෙම ගෙදරට යන්න බෑ. ඒ නිසා මග දාලා ගියේ. එයාලව දැකලා මොනවද ඕන කියලා ඇහුවම මුලින්ම කිව්වෙ බොන්නවත් නාන්නවත් වතුර නෑ. වතුර තමයි අපට මුලින්ම ඕන කියලා. සිරුරම පුපුරා තුවාල වන රෝගයකින් පෙළෙන දරුවන් දෙදෙනකුට ඇඟ සෝදාගන්නවත් වතුර නැතැයි කියනවිට මට දැනුණේ විශාල කනගාටුවක්. මම මොනව හරි මේකට කරන්න හිතුවා. එයාලට හැදිලා තියෙන ලෙඩේ වෛද්‍යවරු හඳුන්වන්නෙ ඉක්තියෝසීස් නමින්. ඒ ලෙඩේ සම්පූර්ණ සුව වෙන එකක් නොවේ. ඒකෙ වේදනාව යම් සමනයකට පත්කරන ක්‍රීම් එකක් තියෙනව. ඒක ලංකාවෙ නෑ. තියෙන්නෙ එංගලන්තේ විතරයි. ජී. සික්ස්ටි ස්කින් රෙපෙයාර් නමින් ඒ ටියුබ් එක තියෙන්නෙ. මම මගේ ෆේස් බුක් එකෙන් මේක ලබා දෙන්න හැකි අයට උදව් කරන්න කිව්වා. ඊළඟට මේක එහෙන් ගත්තට රේගුවෙන් නිදහස් කරගන්න අයෙත් බද්දක් වදිනවා. ඒකටත් ලිපියක් ඉදිරිපත් කරලා දන්න කියන කීප දෙනෙක් හරහා මෙයාලට දෙන්න නිදහස් කරගත්තා. එහෙම බෙහෙත් ටියුබ් 37 ක් අපට ලැබුණා. එක ටියුබ් එකක් ලංකාවෙ මුදලින් රු. 12,500ත් 15,000ත් අතර මිලකට කට්ටිය අරං තිබ්බෙ. සජීවගේ මැදිහත් වීම බණ්ඩාර මැණිකේගෙ දරුවන්ට මහා සහනයක් විය. මාස් පතා ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ ක්ලීනික් එකෙන් ගාන්ට ලැබෙන බෙහෙත සෑහෙන්නෙ සතියකට දෙකකට පමණි. එම බෙහෙතෙන් ලැබෙන සහනය ද ඉතා අල්පය. මේ එංගලන්තයේ බෙහෙතෙන් මේ දරුවන්ගෙ සමට සිසිල් සුවයක් ලැබෙන බැවින් අද එය ඔවුන්ට මහා අස්වැසිල්ලකි. ඔවුන් අපට කිව්වෙ ලිඳක් හදා දෙන්න කියලයි. අපි නළළින් කරන ආයතන කීපයකටම කතා කළා. පළමු අඩි 50ට රුපියල් 75,000කුත් වැඩිවන හැම අඩියකටම රුපියල් 1000 බැගිනුත් එයාලා ගන්නවා කිවුවා. ඒකට බස්සන මෝටරය 50,000ක් වෙනවා. කිව්වා. අපි ආයතනය කිහිපයකට කතා කළා. ඊළඟ සෙනසුරාදා ආයෙත් අපි මහියංගණෙ ගියා. ඒ නළළින් කරන කට්ටිය හමුවෙන්න. එදා වැඩේ අසාර්ථක වුණා. ආයෙත් පොසොන් පෝය දවසේ අපි ගියා. එදා නළළින් හදන කෙනෙක් එක්කන් ගියේ ඩිංගිරි මැණිකලාගෙ ගෙදර දක්වා එයාලගෙ වාහනෙ අරං යන්න අමාරුයි. පුළුවන්ද බලන්න අරන් ගියේ. අන්තිමට ඒ ආයතනය ඇවිත් කරන්න කැමති වුණා. මාස කීපයකට ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය සහ කුඩා සීතකරණයක් මෙන්ම ගුණරත්න හා කෞෂල්‍යා හසන්ති දරුවන්ට අවශ්‍ය බෙහෙත් ඇතුළු බොහෝ දෑ පමණක් නොව සජීව මින් පෙර මොනවාද වුවමනා යැයි ඇසූ විට ෆෝන් එකක් දෙන්නැයි දරුවන් කියූ බැවින් සජීවගෙ අම්මා අලුතින්ම අරං දුන් වටිනා ස්මාර්ට් ෆෝන් එකක් ඔහු ගෙන ගියේය. එපමණක් නොව දරුවන්ටත් ඒ දෙමාපියන්ටත් අවශ්‍ය ඇඳුම් පැලඳුම් රැසක් ද රැගෙන ගිය අතර ඒ සඳහා සජීවගේ මිතුරු මිතුරියෝ ද එක්ව සිටියහ. මගෙ උපන්දිය දවසෙ ජුනි 28 අපි හතරවෙනි වරටත් ඒ දරුවන් සොයා ගියා. නළ ළින් කරන අයත් එක්කම. උදේම වැඩ පටන් ගත්තා. අපි මහියංගණයට ගිහින් ටැංකියක් ගත්තා බට සහ අවශ්‍ය දේවල් ගත්තා. කලින් කතාකරගෙන තිබ්බා බාස් කෙනෙක් එක්ක යකඩ අට්ටාලයක් හදලා ටැංකිය තියලා ඒ වැඩ කරගත්තා. අඩි 100ක් යටට නළය ගැහුවත් වතුර නෑ. දැන් අපට ඇඟ සෝදාගන්නවත් නෑ. දවසම මහන්සි වෙලා. ඩිංගිරි මැණිකේලාට වතුර ලබාදෙන්නට පොළව විද අඩි 160 ගියද ජලය ලැබුණේ නැත. ඒ වන විට ළිඳ හාරමින් සිටි මැෂින් අවශ්‍ය ඩීසල් ද නිමා වූයෙන් වැඩ නැවතිනි. ඒ පාන්දර 2ටය. නළ ළිඳ හාරන අය කිවුවා පුළුවන්නම් ඩීසල් ගේන්න අපි තව ටිකක් හාරලා බලමු කියා. පාන්දරම අපි ආයෙත් මහියංගණය ටවුන් එකට ගිහින් ඩීසල් ගෙනාව. ආයෙත් පටන් ගත්තා උදේ 6 වෙනකොට අඩි 190 දී වතුර ලැබුණා. මෝටරය රථ සවිකර වැඩේ නිමා කළා. දෙලක්ෂ හැටදහසක මුදලක් මේ නළ ළිං කාර්යය වෙනුවෙන් පමණක් වැය වී තිබුණද ඒ ගැන කිසිදු සංකාවක් සජීවලා ළඟ නැත. ඔවුහු ඉතාමත් ප්‍රීතියෙන් සිටින්නේ ඒ භයානක බරපතළ සමේ රෝගයෙන් පෙළෙන දරුවන්ට සිසිලක් ලබාදෙන්ට හැකිවීම ගැනය. නැවත කොළඹ එන ගමනේදී සජීවට දක්නට ලැබුණේ මගදෙපස කටු පඳුරු වැදීමෙන් තම මෝටර් රථය හානියට ලක්ව ඇති බවය. සිය මිතුරන්ද සමග නිදිවරමින් වෙහෙසෙමින් තම උපන් දිනය වෙනුවෙන්ම මේ අගනා කර්ය කිරීමට සජීවගේ මැදිහත්වීමේ වටිනාකම මුදලින් බැලුවහොත් ලක්ෂ 7ද ඉක්මවයි. ‘සජීව මහත්තයලා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. අපි ළඟට ඇවිත් ගොඩක් පොරොන්දු දීලා යන අය ඉන්නවා. එයාලා අපිව වීඩියෝ කරගෙන යනවා. අපි නිසා මහන්සි වුණා. අපට පිහිට වුණා. වතුරත්, දරුවන්ට බෙහෙතුත් ජීවිතයට තවත් බොහෝ දේත් ලැබුණා’ බණ්ඩාර මැණිකේ සතුටෙන් කීවාය. පහළොස් හැවිරිදි ගුණරත්නටත් දස වියැති කෞෂල්‍යා හංසනීටත් උපකාර කරන මුවාවෙන් ඇතැම් පිරිස් දෙස් විදෙස් ආධාර සංවිධානාත්මකව එකතු කරන බවද සැලය. ඒ ආධාර නිසි පරිදි මේ දරුවන් වෙත ලැබේදැයි විපරම් කර බැලීම කාගේ හෝ ගසාකෑම් ව්‍යාපෘතියකට හසුවන්නට පෙර සිදුකළ යුත්තකි. ඊටත් මේ පවුලේ අයව කෙළින්ම සම්බන්ධ කරගත හැකි මාර්ග බෝ තිබෙන බව ද එසේ උදව් කිරීමට සිත් වන්නෝද කල්පනා කළ යුතුය. එසේ වුවොත් තමන් වැය කරන මුදල් ඵලදායී කටයුත්තකට යොදවූ සතුට අත්විඳිය හැකිවනු ඇත.
 

More News..