brand logo

ලිපි ලක්ෂ දහසයක් තැපෑලේ හිරවෙලා

03 June 2020

මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා තැපැල් කාර්යාලවල ලිපි දහසය ලක්ෂයක් පමණ ගොඩ ගැසී ඇතැයි තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි. අතිකාල ඇතුළු සියලුම දීමනා නතර කිරීම, සේවක පුරප්පාඩු නොපිරවීම යන ගැටලු මත මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද දිනකට පැය අටේ සේවා මුරයන් පමණක් ක්‍රියාත්මක වන හෙයින් ඉදිරියේ දී එම තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි. තැපැල් නිලධාරීන් දහසකගේ පමණ පුරප්පාඩු පවතින බව කී චින්තක බණ්ඩාර සතියකට පැය හතළිස් අටක් වූ සාමාන්‍ය සේවා කාලය මේ වන විට පැය හතළිස් දෙක දක්වා අඩු කර ඇතැයි ද පවසයි. පවතින ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් තැපැල්පති රංජිත් ආරියරත්න හා තැපැල් වෘත්තීය සමිති අතර ඊයේ (2දා) සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේ දී ද ගැටලුවලට විසඳුමක් නොලැබුණු බවත් හෙතෙම කියා සිටියේය. නිලන්ත මදුරාවල
 

More News..