brand logo

ලිංගික වහල් ජාවාරමේ ලොක්කි අද හෙටම කොටුවෙන ලකුණු

21 November 2022

බියුරෝ නිලධාරියාගේ තවත් රහස් එළියට

ඇතැමුන් ලක්ෂ 25ට විකිණෙනවා - ඕමානයේ සිටි කාන්තාවෝ කියති

‘‘අපිට කන්න බොන්න මොකුත් එපා. අපිට ඕනෑ අපේ රටට යන්න විතරයි. මම අවුරුදු තුනහමාරක් තිස්සේ ඕමාන්වල හිරවෙලා. මගේ පාස්පෝට් එක බියුරෝ එකේ ‘කුෂාන්’ සර් ළඟ තියාගෙන ඉන්නවා. එයා මට බලහත්කාරකම් කරන්න ආවා. මට රටින් යන්න දෙන්නම් එයාට කැමති වෙන්නලු. මම මෙහාට ආවේ එයාට ලව් කරන්න නොවෙයි. කීයක් හරි හොයාගෙන යන්නයි. මම ටිකට් එකක් රටට යන්න දැම්මම පාස්පෝට් එක ඉරනවා කියලා එයා බලකරනවා.’’ යැයි වසර තුනක් තිස්සේ ඕමානයේ දුක් විඳින කාන්තාවක් පැවසුවාය. ඇය එලෙස අපා දුක් විඳින්නේ එක් අයකුගේ උවමනාකම් සපුරා දීමට නොහැකි වූ වරදටය. ඕමානයේ රැකියා සඳහා ගොස් ලිංගික වහල් වෙළෙඳාම ඇතුළු අනේකවිධ ජාවාරම්වලට කොටු වූ කාන්තාවන්ගේ දුක්ගිනි මේ වන විට ගිනි කන්දක් සේ පුපුරා යමින් ඇත්තේ මෙලෙසිනි. ඕමානයේ සිටින ලාංකික කතුන් මෙම අසාධාරණකම්වලට එරෙහිව දැන් එළිපිටම විරෝධතා සිදු කරන තැනට පත්ව ඇත්තේ මෙම පීඩනය තවදුරටත් දරාගත නොහැකිවය. ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටට පසුගියදා පැමිණි ඔවුහු විරෝධතා පවත්වමින් ඉල්ලා සිටියේ තමන්ට යළි මවුරටට යාමට ඉඩ දෙන ලෙසයි. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ‘සුරක්ෂා’ ආරක්ෂක නිවස්නය පවත්වාගෙන යන්නේ මෙලෙස අසරණ තත්ත්වයට පත්වන කතුන් ලංකාවට යවන තෙක් නවත්වා ගන්නා කඳවුරක් ලෙසය. එය දැන් ආරක්ෂාව සපයන කඳවුරක් ලෙස නොව තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මන දොළ පුරවන ගණිකා මඩමක් බවට පත්කරගෙන ඇතැයි පැවැසේ. ජනපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් ඕමානය බලා විමර්ශන කණ්ඩායමක් පිටත්ව ගිය අතර, එහිදී සිදුකළ විමර්ශනවලදී මේ පිළිබඳ බොහෝ කරුණු අනාවරණය වී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් රාජ්‍ය ඔත්තු සේවාවේ (SIS) නිලධාරින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ නිලධාරින් සහ වෙළෙඳාම, ජාවාරම් විමර්ශනය හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් ඕමානයට ගියේ ඔක්තෝබර් 03 වැනිදාය. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඕමානයේ ‘සුරක්ෂා’ ආරක්ෂක නිවස්නයේ රැඳී සිටින වින්දිත කාන්තාවන් 45 දෙනකු ගැන මූලික විමර්ශනය සිදු විය. සංචාරක වීසා යොදාගෙන ඩුබායි රටට ගෙනගිය කාන්තාවන්ට ‘අල්බුරේහි’ දේශ සීමාව ඔස්සේ ඕමානයට ආ ගමනේ සිටම අසන්නට දකින්නට ඇත්තේ දුක්ඛිත කතාය.

‘‘ඒජන්සිකාරයෝ අපව කොළඹට අරන් ඇවිත් එක දවසින් පාස්පෝට් අරන් දුන්නා. කොළඹ එයාලාගේ තැන්වලදීත් සමහර අයට අතවර සිදුවුණා. අපි රට අරන් යන්නේ මොන වීසාවලින්ද කියලවත් දැනගෙන නෙවෙයි අපි ආවේ. ඩුබායිවලට ආ පසුත්, බ්‍රෝකර්ලා විසින් අතරමගදිත් අපට අතවර කළා. ඊට පස්සේ තමයි අපේ පාස්පෝට්, ෆෝන් අරගෙන අපේ වීඩියෝ හදලා හාම්පුතුන්ට වෙන්දේසි කළේ.’’ යැයි කාන්තාවක් හැඬු කඳුළින් කීවාය.

අතරමැදි බ්‍රෝකර්වරුන් හා ඒජන්තවරුන් මාර්ගයෙන් ඕමානයට ඇතුළුවන මෙම කාන්තාවන් ඔවුන්ගේ හැඩරුව හා වයස අනුව රුපියල් මිලියන දහයේ සිට ඉහළ මිල ගණන්වලට විකිණෙන්නේ හාම්පුතුන්ගේ සිතැඟි පරිදිය. හාම්පුතාගේ හිතට ඇල්ලුවොත් රුපියල් ලක්ෂ විසිපහට වුව විකිණෙන කතුන් ද නැතුවාම නොවේ. එම මුදල ගෙවා දැමූ සැනින් මෙම කතුන්ට සිදුවන්නේ හාම්පුතාගේ වහලියක වීමටය. සංචාරක වීසාවලින් පැමිණි මේ කාන්තාවන්ට හාම්පුතා විසින් ගෙවූ මුදල යළි නොගෙවා මිස රටෙන් පිටව යාමටද නොහැකිය. ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රය ද හාම්පුතා සන්තකයේ තිබීම ඔවුන්ගේ ආපසු ගමන තවත් පමාකරවන්නකි. කටුනායක ගුවන් තොටුපළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරින් නීතිය අකුරටම ඉටුකරන්නේනම් සංචාරක වීසාවලින් රට යන කතුන් හඳුනාගැනීම අපහසු නොවනු ඇත. කටුනායක ගුවන් තොටුපළින් දවසට රුපියල් පනස්දහස පවා ගෙවා කාන්තාවන් පන්නන ඒජන්තවරුන් ඉන්නවා. දවසට පස්දෙනකු විතර පන්නපු අවස්ථාත් තියෙනවා.’’ යැයි ජාවාරම්වලට සම්බන්ධ වූවෝ කියති. මෙලෙස කාන්තාවන් ඕමානයට යවන ඒජන්සි දොළහක් මෙරට ඇත. ඒ අතරින් ප්‍රධානත්වය දරන්නේ ඒජන්සියක හිමිකාරියකි. මේ දක්වා සිදුකර ඇති විමර්ශනවලට අදාළව නුදුරේම ඇය අත්අඩංගුවට ගැනීමට නියමිතය. මරදානේ විදේශ රැකියා නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන ගිය මොහමඩ් රිස්මි මොහමඩ් ඉන්සාෆ් නමැත්තා පෙරේදා (19 වැනිදා) කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ බිරින්දෑවරුන් දෙදෙනා සිටින වත්තල හා දෙහිවල නිවාස වෙත ගියද ඔහු විදෙස්ගතව සිට ඇත. ලිංගික වහල් ජාවාරමට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුවන අතරවාරයේ ඔහු මෙරටට පැමිණ තිබුණේ ඕමානයේ සිටි ලාංකික කතුන් දහනවදෙනකු ද රැගෙනය. ඔහු තමන්ට ඕමානයේ රැකියා ලබාදී ලංකාවට පැමිණීමට ද ඉඩකඩ සලසා දුන් බව එම කාන්තාවෝ එක හඬින් පැවසූහ. නමුත්, එය ඔහුගේ ගැලවීමට සිදු කරන ලද්දක්දැයි බවට විමර්ශකයෝ සැක පල කරති. මේ අතර, ජනප්‍රිය ගායක දුෂ්මන්ත් වීරමන් ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ ද එවැනි ජාවාරමක් ගැනය. තමාගේ නිවසේ සිටි මෙහෙකාරිය ද කටුනායකදී කොටු වූ ඒජන්තවරයා මාර්ගයෙන් ඕමානයට ගොස් මිනිස් ජාවාරමට හසුව ඇතැයි අදාළ පැමිණිල්ලේ සඳහන්ය. එම නිවසේ මෙහෙකාරිය කළ පැමිණිල්ලට අදාළව අවිස්සාවේල්ල, පුවක්පිටියේ පදිංචි බාලක්‍රිෂ්ණන් කුගනේෂ්වරන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර තැරැව්කරු උප නියෝජිතයකු ලෙස මෙම ජාවාරමට එක්ව ඇති අතර, ඇය ජාවාරම්කරුට යොමුකර තිබු‍ණේ ඔහු විසිනි. මෙවැනි තවත් උප නියෝජිතවරුන් අටදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. තවද ඕමානයේ සිටින ශ්‍රී ලාංකික තුරැව්කරුවන් හත්දෙනකු, මෙරට සිටින තැරැව්කරුවන් 15 දෙනකු සහ ඩුබායිහි රැඳී සිටින අතරමැදි ජාවාරම්කරුවන් හත්දෙනකු ගැනද විමර්ශනවලදී හෙළි වී ඇත. ‘සුරක්ෂා’ ආරක්ෂක නිවස්නයේ සිටි කාන්තාවන් 45 දෙනාගෙන් තවමත් මෙරටට රැගෙන ඒමට හැකිව ඇත්තේ දෙදෙනකු පමණි. කතුන් දාහතර දෙනකු ඉන් පැනගොස් තිබුණේ තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් ලෙස කටයුතු කරන ‘කුෂාන්’ගෙන් බේරීමට නොහැකි තැන බව ඔවුහු පවසති. ඔහු විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඕමානයේ තානාපති කාර්යාලයට පත්ව ගිය අයෙකි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ දුන් උපදෙස් මත විදේශ අමාත්‍යාංශය ඉකුත් 18 වැනිදා ‘කුෂාන්’ නමැත්තාගේ වැඩ තහනම් කර ඇත්තේ තමාගේ වියදමින් මෙරටට පැමිණෙන ලෙස ද දන්වමිනි. වින්දිත කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම, වින්දිතයන්ගේ ආහාර හා වෛද්‍ය පහසුකම් වෙනුවෙන් රජයෙන් වෙන්කළ මුදල් නිසිලෙස නොයෙදවීම පිළිබඳ ඔහුට චෝදනා පවතී. රෝගාතුර වුවද කිසිදු ප්‍රතිකාරයක් නොලැබුණු කාන්තාවෝ ද ඒ අතරේ සිටිති. ‘‘ලේබර් කෝට් එකෙන් අප ලංකාවට යන්න කැමති වෙලා හිටියත් ‘කුෂාන්’ කියන නිලධාරියා ඒවා වළක්වනවා. කුෂාන් වගේම ඕමාන තානාපති කාර්යාලයේ සිටින ‘මානෙල්’ මේවට වගකියන්න ඕනෑ. මෙයාලා නිසා ඕමාන්වලට ආපු කාන්තාවෝ තුන් හාරසියයක් මහ පාරේ ඇවිදිනවා. ඩේෂ් හවුස් එකට ආවොත් අපේ රීරිමාංශය හූරාගෙන කන්න බලනවා. කුෂාන් සර්ගෙන් බේරෙන්න කැම්ප් එකෙන් එළියට පැන්නම බ්‍රෝකර්ලා අපේ අයව ගණිකා ජාවාරමට විකුණනවා.’’ යැයි එලෙස අසරණ වූ තවත් කාන්තාවක් කීවාය. තමාට මෙවැනි චෝදනා සිදුකරන්නේ තමා විසින් නීතිය ක්‍රියාත්මක කළ ඒජන්සිකරුවන් බව කියමින් ‘කුෂාන්’ නමැති මෙම බියුරෝ නිලධාරියා කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර වෙත ලිපියකින් දන්වා ඇත්තේ ද මෙම සිදුවීම් අතරේය. ලංකාවට යාමට අවසර දීමට නම් ඕමානයට රැගෙන ඒමට ගිය වියදම ගෙවන ලෙස මෑන්පවර් ඒජන්සිකරුවෝ ඕමානයේ සිටින කාන්තාවන්ට බලපෑම් කරති. ඔවුන් පමණක් නොව හාම්පුතුන් ද තමන් ගෙවූ මුදල ඉල්ලා නඩු පවරා ඇති වාර ගණන ගිනිය නොහැකිය. එල්.පී. සඳමාලි ඕමානයේ ජාවාරම්කරුවන්ට හසු වූ එවැනි අසරණ කතකි. ඇයට ලංකාවට යෑමට අවශ්‍ය නම් රුපියල් අටලක්ෂ විසිහත්දහස් හතළිහක් හාම්පුතාට ගෙවිය යුතු බවට ගෘහ සේවිකාවන් සපයන ඕමානයේ AL MARWAH නමැති ඒජන්සිය ඕමාන තානාපති කාර්යාලයට දන්වා තිබිණි. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..