brand logo

ලිංගික චෝදනා ගැන ඇන්ඩෲ කුමරුගෙන් ප්‍රශ්න කරන්න යයි

10 June 2020

තාන්‍ය මහ රැජිනගේ බාල පුතු වන ඇන්ඩෲ කුමරු කලකට පෙර බාල වයස්කාරියක වූ වර්ජිනියා රොබට්ස් නමැත්තියක සමග ලිංගිකව හැසිරුණු බවට නැගුණු චෝදනාව විශාල ආන්දෝලනයක් ඇති කළේය. වර්ජිනියා රොබට්ස් සඳහන් කළේ තමා වයස අවුරුදු 17ක බාල වයස්කාරියකව සිටිය දී ඇන්ඩෲ කුමරු සමග ලිංගිකව හැසිරුණු බවයි. ඇය පවසන ආකාරයට ඔහු සමග ලිංගිකව හැසිරීම සඳහා ඇයට බලකර තිබුණේ ජෙෆ්රි එප්ස්ටීන් නමැති ඔහුගේ මිතුරෙකි. එප්ස්ටීන් ලිංගික සේවය සඳහා බාල වයස්කාරියන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අයෙකි. ඇමෙරිකානු ජාතිකයකු වූ ජෙෆ්රි එප්ස්ටීන් මෙයට මාස කිහිපයකට පෙර මරණයට පත් වූ නමුත් ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන සිදු කෙරෙමින් පවතී. මෙහිදී එප්ස්ටීන් සමග ඇන්ඩෲ කුමරුගේ පැවැති සම්බන්ධය පිළිබඳව කුමරුගෙන් ප්‍රශ්න කිරීමට ඇමෙරිකානු විමර්ශකයන්ට අවශ්‍යව ඇති අතර දැන් ඒ පිළිබඳ නිල ඉල්ලීමක් එරට අධිකරණ දෙපාර්තමේන්තුව ඇන්ඩෲ කුමරු වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි. එප්ස්ටීන් සමග පැවැත් වූ සම්බන්ධය ගැන ඇන්ඩෲ කුමරුට විවිධ පාර්ශ්ව වෙතින් විශාල වශයෙන් චෝදනා එල්ල වෙද්දී පසුගිය වසරේ ඔහු ප්‍රකාශ කළේ එප්ස්ටීන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට සහය දීමට තමා සූදානම් බවයි. නමුත් ඇමෙරිකානු බලධාරීන් පසුව පවසා තිබුණේ විමර්ශන සඳහා ඇන්ඩෲගෙන් කිසිදු සහයක් නොලැබෙන බවකි. කෙසේ වෙතත් දැන් කුමරුගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා නිල වශයෙන් ඉල්ලීමක් යොමු කර ඇති තත්ත්වය තුළ ඉදිරියේ දී කුමක් සිදුවනු ඇත්ද යන්න සම්බන්ධයෙන් කාගේත් අවධානය යොමු වී ඇති බව පෙනේ. ඇන්ඩෲ කුමරු වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලීමෙහි කොන්දේසි අනුව ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නොවුණහොත් එක්සත් රාජධානියේ අධිකරණය වෙත කැඳවා ප්‍රශ්න කිරීමේ හැකියාව ඇති බව සඳහන් වේ. සහන් වික්‍රමගේ
 

More News..