brand logo

ලිංගිකත්වය සහ නිරුවත කුණුහරුපයක් විදියට දකින්න එපා

22 August 2022

යුරේනි නොෂිකා කියන නමවත් ඒ නමේ හිමිකාරියවත් අපිට නුහුරු නුපුරුදු නොවුණට ඇය ගැන අහන්න දකින්න ලැබෙන දේවල් නම් දවසින් දවසට අලුත් වෙනවා. තවත් විදිහකට කියනවා නම් යුරේනි කියන නම කාලයෙන් කාලයට අලුත් ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. විවිධාකාරයේ විලාසිතා එක්ක නිතරම අපිට මුණගැගෙන යුරේනි, මේ වෙද්දි ලංකාවේ පළමු පෙළේ නිරූපිකාවක් හැටියට හඳුන්වාදීමේ කිසිම වරදක් නැහැ. ඇය තෝරාගන්නා විලාසිතා නිසාම බොහෝ දෙනෙක් නිරන්තරයෙන් ඇය පිළිබඳව කතා කරනවා. අගය කිරීම් වගේම ඇයට විවේචන එල්ලවෙන අවස්ථාත් ඕනෑ තරම්. යුරේනිගේ විලාසිතාවන් නිරුවත ඉස්මතු කරන විලාසිතා කියලත් පිරිසක් කියනවා. කොහොම වුණත් ලංකාවේ ඉන්න සරාගීම රංගන ශිල්පිනියන් සහ නිරූපණ ශිල්පිනියන් අතර ඇය ඉදිරියෙන්ම ඉන්නවා. May be a closeup of 1 person, standing and jewelry යුරේනි කියන්නේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් කියලා දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නිරූපණයට වගේම ගායනයට, නර්තනයට, වැඩසටහන් ඉදිරිපත් කිරීමට සහ රංගනයටත් මේ හැඩකාර කටකාරියට තියෙන්නේ සහජ හැකියාවක්. මේ දවස්වල ප්‍රසිද්ධ මාධ්‍ය තුළ වගේම සමාජ මාධ්‍ය තුළත් යුරේනි අතිශයින් ජනප්‍රියයි. කසුන් පතිරණගේ කුලුඳුල් සිනමා අත්දැකීම නයිට් රයිඩර් පසුගිය දවසක තිරගත කිරීම ආරම්භ වීමත් සමගම යුරේනිගේ රංගනයන් ගැන කතාබහ නැවතත් අලුත් වුණා. ජනප්‍රිය රංගන ශිල්පී කලණ ගුණසේකරත් සමග මේ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන්නේ යුරේනි කියලා මේ වෙද්දිත් බොහෝ දෙනෙක් දන්නවා. වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් විදිහට තමයි නයිට් රයිඩර් හඳුන්වලා දීලා තියෙන්නේ. නයිට් රයිඩර් චිත්‍රපටයේ සාර්ථකත්වයට යුරේනිගෙන් විශාල සහයෝගයක් ලැබුණා කියලා එහි අධ්‍යක්ෂවරයා පසුගිය දවසක යූටියුබ් සාකච්ඡාවකදී කියලා තිබුණා. අවුරුදු හතකට පසුව තිරගත වන නයිට් රයිඩර් සිනමා නිර්මාණය ගැන වගේම කලා ජීවිතයේ අලුත් වතගොත ගැන කතා කරන්න අපි යුරේනි නොෂිකාට ‘පිනිපලස’ පිළිසඳරට ආරාධනා කළා. ‘නයිට් රයිඩර්’ කියන්නේ කලාත්මක සහ වාණිජමය ධාරාවලින් ඔබ්බට ගිහින් දේශපාලන සහ සමාජ ප්‍රකාශනය සෞන්දර්යාත්මකව ඉදිරිපත් කළ සිනමා නිර්මාණයක්. ඒ නිර්මාණයේදී යුරේනිට ලැබිලා තියෙන්නේ වෙනස්ම චරිතයක්. යුරේනිගේ වචනවලින්ම කියනවා නම් ඒ චරිතය අභියෝගාත්මකයි. යුරේනි ඒ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද කියලා අපි ඇයගේ වචනවලින්ම දැනගමු. "නයිට් රයිඩර් චිත්‍රපටයේ මගේ චරිතය මාධ්‍යවේදිනියක්ගේ චරිතයක්. තවමත් මේ නිර්මාණය රස විඳපු නැති කෙනෙක් ඉන්නව නම් ඔවුන්ගේ කුතුහලය නැති වෙන නිසා මම කතාව ගැන වැඩිපුර කියන්න යන්නේ නැහැ. කොහොම වුණත් නයිට් රයිඩර් රූපගත කිරීම් කරන දවස්වල මම හිරු ටීවී එකේ මෙගා ස්ටාර් එකේත් වැඩ කරනවා. උදේ ඉඳල හවස් වෙනකම් ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා රෑට නයිට් රයිඩර් රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවුණේම රාත්‍රි කාලයේ. ඉතාමත් කාර්යබහුල කාලයක අභියෝගාත්මක චරිතයක් තමයි මට රඟපාන්න ලැබුණේ. කතාවට තිබුණේ ප්‍රධාන චරිත දෙකයි. අනිත් සියලුම චරිත ගරු රඟපෑම්. ඉතින් කතාව දිවෙන කාලය පුරාම ප්‍රේක්ෂකයන්ව ප්‍රධාන චරිත දෙකට අලළා තබා ගැනීම අභියෝගයක්. ඒ අභියෝගය භාර අරගෙන මට හැකි උපරිමයෙන් චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා ලැබෙන ප්‍රතිචාර දිහා බලද්දි අද මට හිතෙනවා." May be an image of 1 person යුරේනි කියන්නේ කවදත් වෙනස් විදිහට හිතන කෙනෙක්. විලාසිතා ගැන, ආදරය ගැන, බැඳීම් ගැන වගේම කලාව ගැනත් යුරේනිට තිබුණේ වෙනස්ම කියැවීමක්. අලුත් දේවල් අත්හදා බලන්න, අභියෝග භාර අරගෙන ඒවාට නොබියව මුහුණ දෙන්න කිසිම දවසක පැකිලෙන්නේ නැහැ කියලා තමයි යුරේනි නම් කියන්නේ. කසුන්ගේ පළවෙනි සිනමා නිර්මාණයේ රඟපාන්න ලැබුණ ආරාධනාවත්, දෙවරක් නොසිතාම යුරේනි පිළිගන්න ඇත්තේ ඒ නිසාම වෙන්න ඇති. "නයිට් රයිඩර් ප්‍රධාන කාන්තා චරිතය මම ගැනම හිතාගෙන ලියපු එකක් නෙවෙයි. තවත් රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක් තිර පරීක්ෂණය සඳහා යොදාගෙන ඊට පස්සේ තමයි ඔවුන් ඒ සඳහා මට ආරාධනා කළේ. කසුන් පතිරණ හරි උනන්දුවෙන් මේ නිර්මාණය ගැන කතා කළා. මම නිර්මාණයක් තෝරා ගත්දී කාරණා කිහිපයක් ගැන හිතලා බලනවා. නිර්මාණකරුවාට නිර්මාණයක් කරන්න කොයිතරම් උනන්දුව තියෙනවද කියලා මම අනිවාර්යෙන්ම හිතනවා. සමහර නිර්මාණකරුවන්ටවත් තමන්ගේ නිර්මාණය ගැන විශ්වාසයක් නැහැ. නමුත් කසුන්ට ඔහු කරන දේ ගැන ලොකු දැනුමක්, අවබෝධයක් වගේම විශ්වාසයක් තිබුණ නිසා මම ඒ අභියෝගය භාරගත්තා. මම ගොඩක් වෙලාවට වැඩ කළේ පළමු වරම නිර්මාණයක් සිදු කරන අධ්‍යක්ෂවරුන් සමග. නිනෝ ලයිව්, කූඹියෝ එයට හොඳම උදාහරණ. ඒක ඇත්තටම අපි ගන්න අවදානමක්. නමුත් මේ වෙනකන් ඒ ගත්ත අවදානම මට හානියක් කරලා නැහැ." May be an image of 1 person නයිට් රයිඩර් චිත්‍රපටයේ ශෘංගාරාත්මක දර්ශන කිහිපයක් තියෙන නිසා යුරේනිව ඒ චරිතයට තෝර ගත්තා කියලත් පිරිසක් කියනවා. ඒ ගැන යුරේනි කිව්වේ මේ වගේ කතාවක්. "ඇත්තටම අපේ රටේ සමහර මිනිස්සු ලිංගිකත්වය නිරුවත වගේ දේවල් දකින්නේ කුණුහරුපයක් විදිහට. ඒ නිසා තමයි මෙවැනි විවේචන එල්ල වෙන්නේ. මේ නිර්මාණයට ලිංගිකත්වය පිළිබඳ දර්ශන බලෙන් ඔබ්බවලා නැහැ. අහම්බෙන් හමුවන තරුණයෙක් සහ තරුණියක් ආදරයෙන් බැඳෙන තැන ශෘංගාරය උපදිනවා. ඒක චිත්‍රපටය මාර්කට් කරගන්න කරපු දෙයක් නෙවෙයි. කතාවේ වගේම චරිතවල සාර්ථකත්වයට කළ දෙයක්. මේ චරිතය රූගත කරද්දී එතැන ඉන්න මම අවසර දුන්නේ අධ්‍යක්ෂවරයාට සහ කැමරා අධ්‍යක්ෂවරයාට විතරයි. මට ලැබුණු චරිතයට මම උපරිම සාධාරණයක් කළා කියලා මම හිතනවා." May be an image of 1 person, standing and outdoors නයිට් රයිඩර් තිරගත වීම ආරම්භ වෙලා තියෙන වෙලාවක, යුරේනි රංගනයෙන් දායක වූ ‘යාළුවෝද යාළුයිද’ චිත්‍රපටයේත් රූගත කිරීම් අවසන් වුණා කියලා අපිට දැනගන්න ලැබුණා. විලාසිතාවලට ආදරය කරන තරුණ තරුණියන්ට ‘යාළුවෝද යාළුයිද’ චිත්‍රපටය අලුත් අත්දැකීමක් වෙයි කියලා තමයි යුරේනි නම් කියන්නේ. ඉතින් නොබෝ දිනකින් අලුත් චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න අදස්ථාව ලැබෙයි කියලත් ඇය මතක් කළා. නිරෝෂා වාසල https://youtu.be/QmOshzW6zvk
 

More News..