brand logo

ලාහෝරයෙ එහෙම වුණත් - ලංකාවේ එහෙම වෙන්නෙ නෑ - හුග දෙනෙකුට ඒක මතක නෑ

09 March 2019

ලාහෝර් ප්‍රහාරයට දස වසරක් සපිරෙද්දි ශ්‍රී ලාංකිකයා නොසිතූ දෙය

ත්‍රස්තවාදීන් විසින් පකිස්තාන භූමිය මත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව වනසා දමා දශකයක් පිරුණි. 2009 මාර්තු 09 වැනිදා සන්නද්ධ ත්‍රස්තාවාදීන් පිරිසක් විසින් ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයට යමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයට එල්ල කළ ප්‍රහාරය හෙවත් ලාහෝර් ප්‍රහාරයත් සමගින් පකිස්තාන බිම මතින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග අතුගෑවී ගියේය. මෙම ප්‍රහාරයෙන් මහේල ජයවර්ධන ප්‍රමුඛ අප ආදරණීය ක්‍රීඩකයන්ගේ දිවි ගැලවුණු නමුත්, එදා කොළඹ බෝම්බ පුපුරද්දී පවා අපව අත්නොහැර අප සමග සිටි අපගේ සහෝදර ක්‍රිකට් රාජ්‍යයේ භූමිය මත වූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දිවි තොරවිය. එදා පොලිස් නිලධාරීන් ඇතුළු 8 දෙනෙකු ජීවිත බිලිගනිමින් ද, ඒ වන වන විටත් දින දෙකක් අවසන්ව පැවැති සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයේ අතිරේක විනිසුරු වූ අශාන් රාසාගේ පෙනහැල්ල හා අක්මාව තුළට ත්‍රස්තවාදී වෙඩි උණ්ඩ දෙකක් ඇතුළුවී ඔහුට බරපතළ තුවාල සිදුකරමින් ද, පිට පිටම තරග දෙකක ද්විත්ව ශතක දෙකක් ලබා සිටි තිලාන් සමරවීරගේ පාදයටත්, තම මංගල ටෙස්ට් තරගාවලියේ යෙදී සිටි තරංග පරණවිතානගේ හිසටත් තරමක් ගැඹුරු තුවාල කරමින් ද, නායකත්වයේ සිය අවසන් ටෙස්ට් තරගාවලියට සහභාගිවෙමින් සිටි මහේල ජයවර්ධන ඇතුළු අප කණ්ඩායමේ ක්‍රීඩකයන් හත් දෙනෙක්ට තුවාල සිදුකරමින් ද, සිදුවූ ප්‍රහාරය අදටද ලෝකයේ අනෙකුත් ක්‍රිකට් රාජ්‍යයන් බියෙන් භ්‍රාන්ත කර ඇත. එනිසා අදටද පකිස්තානයේ තරග සංචාරයක් යනු මරුවා සමග වාසයට යෑමක් ලෙසින් ලොව ක්‍රිකට් රටවල් සිතයි. ක්‍රිකට් තරග අහේනියකට ලක්ව සිටින සිම්බාබ්වේ කණ්ඩායම 2015 දී සංචාරයක යෙදෙන තුරුම එදා ඒ ප්‍රහාරයෙන් අනතුරුව වසර 6ක් ගෙවීයන තෙක් ලොව අන් කිසිදු රටක් පකිස්තානයේ ක්‍රීඩා කිරීමට ගියේ නැත. 2017 දී ලෝක කණ්ඩායම පන්දුවාර 20 තරග 3ක් වෙනුවෙන් එහි ගියේය. එම වසරේ ඔක්තෝබර් මාසයේදී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමක් පන්දුවාර 20 තරගයක් සඳහා එහි යෑම ලාහෝර් ප්‍රහාරයේ සිට මේ දක්වා දශකයක කාලය තුළ පකිස්තානු බිම මත පැවැති ඉහළම ක්‍රිකට් තරගයයි. (එදා ලාහොර් ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසරේ එම පන්දුවාර 20 තරගයට සහභාගිවද්දී එහි පිටියේ විනිසුරුවරයකු ලෙසින් එදා වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ අශාන් රාසා කටයුතු කිරීම දෛවෝපගත විය) ඉන් අනතුරුව ඉකුත් මැයි මාසයේ කරච්චියේදී කොදෙව්වන් පන්දුවාර 20 තරග 3ක් ක්‍රීඩා කළේය. ඒ හැරෙන්නට පකිස්තානයේ මිනිසුන්ට තම රටේදී පියවි ඇසින් ජාත්‍යන්තර තරගයක් බැලීමට මේ වසර දහයේදී වෙනත් අවස්ථාව උදාවූයේ නැත. පකිස්තානය විසින් සත්කාරකත්වය ලබාදෙන තරග සියල්ලම පවත්වන්නට සිදුවූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය. තම රටේ මෙම ජාත්‍යන්තර ක්‍රිකට් තරග නොනගතය හේතුවෙන් එතෙක් මෙතෙක් පකිස්තානයට අහිමිව ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 3600ක් යැයි ගණන් බලා තිබේ. පකිස්තානු සුපර් ලීග් තරගාවලිය හෙවත් පී.බී.එල්. තරගාවලියේ අනෙකුත් තරග ඩුබායි හි පැවැත්වෙද්දී 2017 වසරේ එහි අවසන් මහා තරග දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්විණි. මෙම 17 වැනිදා පැවැත්වෙන පී.බී.එල් තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළුව මෙවර එහි තරග 8ක් ලාහෝරයේ සහ කරච්චියේ පැවැත්වීමට යෙදී තිබේ. මේ අයුරින් තරගාවලි ‘අටවාගනිමින්’ තම රටේ ආරක්‍ෂාව පිළිබඳ උදාහරණ සැපයීමට පකිස්තානය උත්සහ කළද ලෝකයා තවමත් පකිස්තානය පය තැබීමට බියෙන් සිටී. තම රටේදී පන්දුවාර 20 තරගාවලියකට ක්‍රීඩා කිරීමට පැමිණෙන මෙන් පකිස්තානය විසින් නවසීලන්තයෙන් කළ ඉල්ලීමද, එක්දින තරග දෙකකට පැමිණෙන මෙන් ඔවුන් විසින් ඔස්ට්‍රේලියාවෙන් කළ ඉල්ලීමද එම රටවල් වෙතින් එකහෙලා ප්‍රතික්‍ෂේප විය. ලබන ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට සූදානම් වන ටෙස්ට් තරග 2 පකිස්තානයේදී පවත්වන්නට හැකිවෙතැයි ඔවුහු බලාපොරොත්තු තබා සිටිති. නමුත් උද්ගතවී ඇති ඉන්දු-පකිස්තාන ගැටුම්කාරී තත්ත්වය මත එයද හීනයක්ම වන හැඩ පෙනෙයි. පකිස්තාන භූමිය මත ජාත්‍යන්තර ක්‍රිකට් නැවත උපදින දිනයක් පෙනෙනතෙක් මානයේ නැත. ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් 2009දී මියැදුණු පකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දස වැනි ‘ගුණානුස්මරණය’ ගැන මෙකල අපි කථා කරන්නෙමු. නමුත් අපේ රටේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සියළු මාරකයන්ගෙන් මිදෙනුයේ 2009 දී බව සිතෙන්නේ අපි කීයෙන් කීදෙනෙකුටද? එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවද කඩින් කඩ ඔත්පල විය. මාරක කිහිපයකටම මුහුණ දුන්නේය. ඒ උපද්‍රවය සහමුළින්ම දුරුවන්නේ 2009 දී එල්.ටී.ටී.ඊ ය සහමුළින්ම පරාජය කිරීමත් සමගිනි. එසේ නොවන්නට ලාහෝර් ප්‍රහාරය නිදසුනක් කරගනිමින් එලෙසින්ම ‘කොළඹ ප්‍රහාරයක්’ , ‘මහනුවර ප්‍රහාරයක්’ , ‘ගාල්ලේ ප්‍රහාරයක්’ හෝ ‘දඹුල්ලේ ප්‍රහාරයක්’ එල්ලවීමට ඉඩ නොතිබුණේද? ලාහෝර් ප්‍රහාරයෙන් දස වසරක් ගෙවෙද්දී ‘අනේ අපොයි’ කියමින් ඒ ගැන කථා කරන අපේ රටේ බොහොමයක් දෙනාට නොසිතෙන්නේද අපේ රටේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ‘අභය’ ලබා දස වැනි වසරට එළැඹි බව. ඉන්ද්‍රජිත් සුබසිංහ      
 

More News..