ලාල්කාන්තගේ අනතුර ගොරකා දඩමස් කළේ පොලිසියද ලාල්ද?
11 March 2019
ලාල්කාන්තගේ අනතුර ගොරකා දඩමස් කළේ පොලිසියද ලාල්ද?
11 March 2019
‘‘පොලිසියට ගොරකා දඩමස් කරන්න පුළුවන්.. දඩමස් ගොරකා කරන්නත් පුළුවන්’’ පොලිසිය ගැන කේ. ඩී. ලාල්කාන්ත එසේ කීවේ පසුගිය 7 වැනිදා උසාවියෙන් අැප ලබාගෙන එන අතර මාධ්‍යවේදීන් හමුවේය.
ලාල්කාන්ත පවසන පරිදි ගොරකා දඩමස්ද, දඩමස් ගොරකාද කරන පොලිසියට ඕනෑ නම් එකෙකු දෙන්නකු කම්බස් කරන්නටද බැරිකමක්ද නැත. අඟුලානේ සහ රත්ගම සිද්ධීන් ඊට උදාහරණය. එහෙත් එය වෙනම කතාවකි.
පසුගිය 1 වැනිදා අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට සිදු වූ රිය අනතුරින් පසු ලාල්කාන්ත මෙම 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුගිය 7 වැනිදා මෝසමක් මගින් ඇප ලබා ගත්තේය. මාධ්‍යවේදීන් ඇමතුවේ එසේ ඇප ලබා ගැනීමෙන් අනතුරුවය.
ලාල්කාන්තගේ රියේ හැපුණු 45 හැවිරිදි නිලන්ති රූපිකා බරපතළ තුවාල සහිතව තවමත් රෝහලේය. එහිදී තුවාල ලැබූ 14 හැවිරිදි තිළිනි හංසිකා දැරිය ද ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොසිනි.
බරපතළ තුවාල ලැබූ නිලන්ති රූපිකාට කතා කිරීමට නොහැකිය. ඒ ඇගේ හකු ඇටයට හානි සිදුව ඇති බැවිනි. මේ නිසා ඇය වෙනුවෙන් අප සමග කතා කළේ ඇගේ වැඩිමහල් සහෝදරිය වන කේ. එච්. නිර්මලා චානදනීය.
‘‘මේ අනතුරකට ලක්වෙලා ඉන්නේ මගේ නංගි. අද එයා මළ මිණියක් වගේ ඉන්නේ. දකුණු කකුල තුන්පොලකින් කැඩිලා. හකු කැඩිලා, අතක ඇඟිල්ලක පුරුකක් නැහැ. මුහුණ ඉදිමිලා, ඇස්වලට ලේ බැහැලා. නංගිත් එක්ක ගිය දරුවාටත් තුවාලයි. ඒ දරුවා 10 වසරේ ඉගෙන ගන්නේ... තව සතියකින් වාර විභාගය පටන් ගන්නවා. එයාට ඒකට සහභාගි වෙන්න විදිහක් නැතිවෙනවා. අටවැනිදාට ලොකු දුවගේ මංගල්‍යය ගන්න හිටියේ. දැන් උත්සව ශාලාවලට, ඇඳුම්වලට, කෑමවලට සල්ලි බැඳලා තියෙනවා, ලක්ෂ 10 ක් විතර. ඒවා ආයේ ගන්න බැහැ. ලාල්කාන්ත මහත්තයාගේ කිසිම මනුස්සකමක් නැහැ. අනතුර වුණ වෙලාවේ අඩුම තරමින් මේ ලෙඩ්ඩු දෙන්නා රෝහලට ගෙනියන්නවත් උදව් කළේ නැහැ. හැබැයි නඩු යන්නේ නැතිව ඉන්න රුපියල් ලක්ෂයක් දෙන්න නම් හැදුවා. රුපියල් ලක්ෂයකින් ජීවිතයක් ගන්න බැහැ. මේ වෙලා තියෙන විනාශයට අනුව අපේ නංගි පිටරටකට ගෙනියන්න වෙනවා.
ඒ නිසා ලක්ෂ 20 ක්වත් ඕනි. අපිට නඩු යන්න ඕනේ නැහැ. වන්දිය ලක්ෂ 20 ක් දෙන්න. එහෙම නම් අපි සමතයකට එනවා. අඩුම තරමින් මේ මනුස්සයාගේ නෝනාට එන්න තිබුණා ලෙඩ්ඩු බලන්න. එහෙමත් නෑ. අද අපේ පවුලට වැලේ වැල් නැහැ. පොඩි දරුවට ඉස්කෝලේ නැහැ. රැකියා කරන පුතාට ඒකට යන්න නැහැ. දුවගේ වෙඩින් එක කරන්න විදිහයක් නැහැ. දුව බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. ඒ තරමට ලාල් කාන්තලාගේ මිනිස්සු කුහකයි. වටින් පිටින් තැරැව්කාරයෝ නම් එවනවා. අපි ඒවට අහුවෙන්නේ නැහැ. මේ පක්ෂයේ නායකයෝ කියන්නේ කොහොමද? උඩ පැන පැන අපේ පක්ෂේ අය බොන්නේ නැහැ කියලා. සිල් රෙද්ද පොරවගෙන තමයි අශීලාචාර වැඩ ඔක්කෝම කරන්නේ.
මම එකක් කියන්න ඕනි. ලාල් කාන්ත කියන අශීලාචාර මනුස්සයා කරපු පහත් වැඩේට දඬුවම් විඳින්න ඕනි එයා. නිවැරදි විදියට පාරේ ගමන් කරපු අපේ නංගිලා හැප්පුවා. මාර්ග නීති උල්ලංඝනය කළේ ලාල් කාන්ත. අනික් දේශපාලකයන්ට ආදර්ශයක් දෙන්න සුදනා වගේ කතා කරපු මිනිස්සු මේ වගේ වැඩකරන එක ගැන අපිට තියෙන්නේ පුදුම වේදනාවක්.’’
‘‘ජනතා විමුක්ති පෙරමුණ රටට ආදර්ශයක් දෙන පක්ෂයක් නම් එය සැබෑවටම සමාජයට ඔප්පුකර පෙන්වන්න ඕනේ.’’
පොලිසියට අධිකරණයට පැවසූ පරිදි අනතුර සිදුවන අවස්ථාවේ ලාල් කාන්ත මත්පැන් පානය කර සිට ඇත. ස්ථානීය ස්වසන පරීක්ෂණයේදී සහ අනුරාධපුර අධිකරණ වෛද්‍ය ඒකකය මගින් කළ ස්වසන පරීක්ෂණයේදීද මත්පැන් පානය කර සිටි බවට තහවුරු වුණැයි පොලිසිය අධිකරණයට දැන්වූයේය.
නමුත් ලාල්කාන්ත කියන ගොරක දඩමස් කරන කතාවේ යටින් කියැවෙන්නේ අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිටියේය යන්න අසත්‍ය යැයි වැනි අදහසකි.
තමා බීමතින් සිටි බව සැඟවීමට ලාල්කාන්ත උත්සාහ කළද මේ ගැන සටහන් තැබූ බොහෝ දෙනකු අදහස් පළ කරතිබුණේ ලාල්ව නිර්දෝෂී කරමිනි. ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුණේ ලාල්ට බීමට අයිතියක් ඇති බවය. එසේම අනතුර සිදු වූ පසු ඔහු සැඟවී නොගිය බවය.
ලාල්කාන්තට නොව ඕනෑම කෙනකුට බීමට මේ රටේ කිසිදු තහනමක් නැත. ‘ජවිපෙ අපි නොබොන’ බවට ජනතාව හමුවේ දිව්රා පොරොන්දු වන්නේ ඔවුන්මය. ලාල්ට බොන්නට අයිතියක් ඇති නමුත් බීලා රිය පැදවීම නීතියෙන් තහනම් බව මේ අය අමතක කරති. එය වරදක් වීමට රිය අනතුරක් සිදුවිය යුතුම නැත.
දේශපාලකයන් හා ඔවුන්ගේ දූ පුතුන් හා හිතමිතුරන් අතින් මීට පෙර සිදු වූ අනතුරු ගැන අපි පසුගිය සතියේද කතා කළෙමු. දේශපාලකයන් තමන් හෝ තමන්ට සම්බන්ධ අයකු අතින් වරදක් වූ විට තමන්ගේ බලයෙන් ඉන් ගැලවෙන බව මේ රටේ බහුතරයේ පිළිගැනීමය. ඒ සමගම ඔවුන් විශ්වාස කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ එසේ නොකරන බවය.
ලාල්කාන්ත බීමතින් රිය පදවා අනතුරක්ද සිදුකොට බිඳ දමා ඇත්තේ ඒ විශ්වාසයය. ලාල්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව බිමල් රත්නායක කීවේ ඒ නිසා විය යුතුය.
‘‘අපේ පක්ෂයේ අයට බොන්න බැහැ. පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන්ව නැතත් සදාචාරාත්මකව මත්පැන් පානය නොකරන්නන් බවට අපේ බැඳීමක් තියෙනවා. එම නිසා ලාල් කාන්තගේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා‘’ එම විනය ක්‍රියාමාර්ග ගැනීම අධිකරණයේ නඩු කටයුත්ත අවසන් වූ පසුව ගැනීමට නියමිත බවද බිමල් රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ය.
බිමල් රත්නායක හෝ වෙනත් ජවිපෙ නායකයකු කෙසේ කීවද, ලාල් යනු කනබොන මිනිහෙක් බව ප්‍රසිද්ධ රහසකි. ජවිපෙට එරෙහි ජවිපෙට පහර දෙන්නට රුචි අය බොහෝ විට ලාල්කාන්ත ඔසවා තබන්නේද මේ නිසාය. මේ අනතුර සිදු වූ පසු ලාල් වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ පෙනී සිටියේද එවන් අයය.
ලාල්කාන්තගේ පැරණි සටන් සගයකු වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කීවේ ලාල්කාන්තට එක විදියකටත්, විජිත හේරත්ට එක විදියකටත් සලකන්නට හේතුව කුමක්දැයි සොයා බැලිය යුතු බවය. මීට කලකට පෙර විජිත හේරත් මන්ත්‍රීවරයා පැදවූ මෝටර් රථයද අනතුරකට ලක් වූ විට ඔහු බීමතින් සිටි බව කියැවුණද ඔහුව ඒ සඳහා වන පරීක්ෂණයට හෝ භාජනය කර තිබුණේ නැත.
මේ අනුව ලාල්කාන්ත මුහුණ දුන් රිය අනතුර හරහා යළිත් වරක් ජවිපෙ තුළ බෙදීමක් වුවද ඇතිවීමේ ඉඩක් ඇතැයි ඇතමකුට සිතෙන්නට පුළුවන. එය එසේ වුණත්, නොවුණත් එය ඔවුන්ගේ පක්ෂයේ ප්රශ්නයකි.
එහෙත් ඒ ප්රශ්නය විසඳා ගැනීමට පෙර ඔවුන් මේ අනතුරින් අගතියට පත් පාර්ශ්වයට සාධාරණයක් ඉටුකළ යුතුය. තුවාල ලැබූ කාන්තිට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදුන් බව ප්‍රකාශ වුවත්, ඔවුන් පවසන්නේ තමන්ට මෙතෙක් කිසිම මුදලක් නොලැබුණු බවය. එසේම සිදුව ඇති හානිය ප්‍රතිපූරණය සඳහා රුපියල් ලක්ෂයක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය.
දැන් රටම බලා සිටින්නේ සමාජ සාධාරණය වෙනුවෙන් කතා කරන ජනතා විමුක්ති පෙරමුණ අනතුරින් විපතට පත් කාන්තාවන්ට සාධාරණය ඉටු කරන්නේ කෙසේද යන්න ගැනය.
තුෂාර උඩවත්ත
තඹුත්තේගම කේ. ඩී. කීර්තිසිංහ