brand logo

ලහිරුයි - චමීරයි දෙවැනි තරඟයට නැහැ

28 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ළහිරු කුමාර සහභාගි නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පාදයේ කලව පිටුපස මස්පිඬු ආබාධයකට ලක්ව සිටි ළහිරු කුමාරට සති 05-06ත් අතර කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති බවයි එම ආයතනය සදහන් කරන්නේ. ඒ අනුව ළහිරු කුමාරට එලැඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයද අහිමි වන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. මේ අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්ව ඇති දුෂ්මන්ත චමීරට ලබන මස පළමු වැනිදා කැන්බරාහි මනුකා ඕවල් පිටියේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය අහිමිව ඇතැයි වාර්තා වනවා. එම තරගය අතරතුරදී පාදයේ ආබාධය හේතුවෙන් කිහිපවරක්ම පන්දු යැවීමෙන් වැළකී සිටි චමීර, පසුව ස්කෑන් පරීක්ෂණයකටද යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටර්ස් මහතා සදහන් කළේ චමීරගේ තත්ත්වය ක්‍රීඩා කිරීමට තරම් සුදුසු මට්ටමක නොතිබුණු බවයි. නමුත් තවත් පරීක්ෂණ කිහිපයකින් අනතුරුව ස්ථිරව ඔහු දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවාද නැතිද යන්න පැවසිය හැකි බවයි ජෙරී වවුටර්ස් මහතා වැඩිදුරටත් පැවසුවේ.
 

More News..