brand logo

ලලිත් - අනූෂ දෙදෙනාගේ අභියාචන විභාගය ජුලි 10

08 March 2019

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශය නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු ඉදිරිපත් කළ අභියාචනා ජුලි මස 10 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළා. මෙම අභියාචනා පෙත්සම් අද(08) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ බවයි අප අධිකරණ වාර්තාකරුවන් පැවසුවේ. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ අභියාචනා ජූලි මස 10 වන දා විභාගයට ගන්නා බවයි. ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු සඳහන් කර සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 650 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පැවරූ බවයි. එම නඩු විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම චෝදනාවලට තමන් වරදකරුවන් කොට වසර තුනක සිර දඬුවම් නියම කර දඩ මුදල්ද නියම කළ බව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට අධිකරණ හමුවේ කියා සිටියා. එම දඬුවම නියම කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් මේ හේතුවෙන් තමන්ව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් අභියාචනාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.
 

More News..