brand logo

ලබන වසරේ මැතිවරණ 4ක්

09 December 2018

එළඹෙන 2019 වර්ෂය ඇතුළත මැතිවරණ හතරක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට වසර දෙකක් තිස්සේ කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණයද ජනාධිපතිවරණයද ලබන වසරේ පැවැත්වීමට ඉඩ තිබේ. පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට අදාළ කැබිනට් අනුමැතිය පසුගිය නොවැම්බර් මුල්භාගයේදී හිමි විය. මැතිවරණ කොමිසමේ සහකාර මැතිවරණ කොමසාරිස් එච්. බොරලැස්ස පැවසුවේ 2020 ජනවාරි 08 වැනි දිනට ප්‍රථම ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතු බවයි. එබැවින් මේ වර්ෂයේ නොවැම්බර් දෙවැනි සතිය වන විට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබේ. එහෙත් 2019 ජනවාරි 08 වැනි දිනෙන් පසුව ජනපතිගේ අභිලාෂය පරිදි ජනාධිපතිවරණයකට යාමේ අවස්ථාවද ව්‍යවස්ථාවේ තිබේ. මීට අමතරව පසුගිය වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට රාජඅලියා සලකුණෙන් ඉදිරිපත් වූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගය ජනවාරි තුන්වන සතියේ කැඳවීමට නියමිතය. එහි තීන්දුවද මේ වර්ෂය තුළ ලැබෙනු ඇති බවට විශ්වාස කරන අතර එසේ වුවහොත් ඒ සඳහාද ඡන්දයක් පැවැත්වීමට ඉඩ ඇත. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේ කුමන තීන්දුවක් පැමිණියද පාර්ලිමේන්තුවේ උද්ගත වී ඇති අර්බුදය විසඳීමට නම් මහමැතිවරණයක් පැවැත්විය යුතු බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පැවැසීය. ඒ අනුව ලබන වර්ෂයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ද ඉඩ ඇත.
 

More News..