brand logo

ලබන වසරේ අයවැය නොවැම්බර් නැහැ - ජනවාරියට කල් යයි

10 August 2019

2020 සඳහා අයවැයත් මෙම වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර ඇත. ඒ වෙනුවට ලබන වසරේ ජනවාරි 01 සිට අප්‍රේල් 30 දක්වා වූ පළමු කාර්තුව සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ‘‘අරුණ’ට ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරණය මෙම වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බැවින් අයවැය ලේඛනය ඉදිරිපත් කර එය විවාද කිරීමේ පසුබිමක් මෙම වසර අවසානයේ නැති නිසා 2020 අයවැය මෙම නොවැම්බරයේ ඉදිරිපත් නොකෙරේ. සාමාන්‍යයෙන් නොවැම්බර් මස පළමු හෝ දෙවැනි සතියේ දිනෙක මුදල් ඇමැතිවරයා විසින් ඊළඟ වසරේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි. අයවැය ඉදිරිපත් කළ දාට පසු දිනයේ සිට පුරා මාසයක කාලයක් අයවැය විවාදය පවත්වන අතර එහි අවසන් ඡන්ද විමසීම සිදු කරනුයේ දෙසැම්බර් මාසයේ දිනකය. එහෙත් නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ද දෙසැම්බර් මස ජනාධිපතිවරණ ඡන්ද විමසීමද පැවැත්වීමට නියමිත බැවින් අයවැය විවාදයකට සුදුසු පසුබිමක් නොපවතිනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ ආකාරයටම පසුගිය වසරේද නොවැම්බර් මාසයේ රටෙහි ඇති වූ දේශපාලන අර්බුදය නිසා 2019 සඳහා අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැත. ඒ වෙනුවට 2019 ජනවාරි සිට අප්‍රේල් දක්වා අතුරු සම්මත ගිණුමක් ඉදිරිත් කළ අතර අයවැය ලේඛනය ඉදිරිපත් කළේ මෙම වසරේ මාර්තු 05 වැනිදාය. අජිත් අලහකෝන්
 

More News..