brand logo

ලබන බදාදා ලංකාවට බලපෑම වැඩි වෙයි

08 November 2019

ඉන්දියාවේ සිට හමා එන දූවිලි වලාවේ බලපෑමේ යම් අඩුවීමක් සිදුවූවද, මේ මස 13 වැනිදා වෙද්දී යම් වැඩිවීමක් සිදුවිය හැකි යැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි වීරතුංග කීවේය. පවතින අයහපත් වායුගෝලීය තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (07 වැනිදා) සවස පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේය. මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාර අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියේ සහ මහනුවර තිබෙන වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානවල නිරීක්ෂණයන්ට අනුව, වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය දෙගුණයක් සහ සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතිශතය යම් ප්‍රමාණයකින් ඉහළ ගිය බවය. ලංකාවට බලපා තිබෙන දූවිලි වලාව පිළිබඳව සොයා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. අධිකාරියේ පරිසර දූෂණ පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චිගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ අන්තර්ජාතික සම්මුතීන්වලට අදාළව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා බවත්ය.මෙවැනි දූවිලි වලාවන් තවත් පැමිණිය හැකිදැයි යන්න පිළිබඳවද සොයා බලන ලෙස සහ මෙම දූවිලි වලාව පැමිණියේ කුමන ආකාරයටද යන්න සොයා බලන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දුන් බවද ඔහු කීවේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එල්. චන්ද්‍රපාලගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළෙමු. බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ සුළි කුණාටු තත්ත්වයක් පවතින බවත්,ඊට සුළං හමන්නේ ඉන්දියාව හරහා බවත්, එම සුළං ප්‍රවාහයන් ලංකාව හරහා ගමන් කරන බවය. මේ දිනවල ලංකාවේ පවතින අන්තර් මෝසම් තත්ත්වයත් සමග උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකගත හැකි බවත්, උදෑසන කාලයේදී ජල වාෂ්ප වායු ගෝලයේ දූවිලි අංශු වටා බැඳෙන බවත්, ඒවාද චලනය වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. ඉන්දියාවේ සිට පැමිණෙන සුළං ප්‍රවාහය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත්, බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ වර්ධනය වී තිබෙන සුළි කුණාටුව ගොඩ බිමකට ළඟාවූ පසුව මෙම තත්ත්වය පාලනය වන බවද ඔහු පැවසීය. වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය තවදුරටත් ඉහළ ගියහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක්ද ඊයේ (07 වැනිදා) පවත්වා ඇත. දූවිලි වලාවේ බලපෑම හේතුවෙන් කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය ඊයේ (07 වැනිදා) ඉහළ ගොස් තිබූ බවත්, මහනුවර නගරයේ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයද යම් මට්ටමකින් ඉහළ ගිය බව වාර්තාවූ බව ජාතික ගොඩනැගිලි පර්​ෙ ය්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යයන) සරත් ප්‍රේමසිරි සඳහන් කළේය. ඉන්දියාවේ සිට හමා ආ දූවිලි වලාවක් හේතුවෙන් කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඉහළ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්​ෙ ය්ෂණ සංවිධානය සඳහන් කරයි. ඉන්දියාවේ සිට හැමූ දූවිලි වලාවක් ලංකාව හරහා ගමන් කිරීම නිසා මෙරට වාතයේ කුඩා දූවිලි අංශු ප්‍රමාණය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්​ෙ ය්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ව අධ්‍යයන) සරත් ප්‍රේමසිරි කීවේය. උදයජීව ඒකනායක සහ සාලිය කුමාර ගුණසේකර
 

More News..