brand logo

ලකුණු සම වූ සුපිරි ඇරැඹුමේ ජය කළම්බු කිංග්ස්ට

27 November 2020

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේ ලකුණු සම වීම හේතුවෙන් ක්‍රියාත්මක කළ සුපිරි පන්දුවාරයේදී ලකුණු 04ක තියුණු ජයක් වාර්තා කිරීමට කළම්බු කිංග්ස් කණ්ඩායමට ඊයේ (27 වැනිදා) හැකි විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී රැස්කළ ලකුණු 219ක ඉලක්කය හඹාගිය කළම්බු කිංග්ස් කඩුලු 7ක් දැවී ලකුණු 219ක් රැස් කිරීම මත තරගයේ ජය සුපිරි පන්දුවාරය ඔස්සේ තීරණය විය. එහිදී පළමුවෙන් සුපිරි පන්දුවාරයට මුහුණ දුන් කළම්බු කිංග්ස් රැස්කළ ලකුණු 16ක ඉලක්කය හඹාගිය කැන්ඩි ටස්කර්ස්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 12ක් පමණි. තරගයේ ජයග්‍රහණය සඳහා කළම්බු කිංග්ස් කණ්ඩායමට අසේල ගුණරත්න යැවූ 20 වැනි පන්දුවාරයේදී ලකුණු 20ක් අවශ්‍ය විය. එහිදී එක් අන්තයක සිටිමින් දැවැන්ත අභියෝගයක් උරමතට ගත් ඉසුරු උදාන හයේ පහර දෙකක්ද සමගින් ලකුණු 19ක් රැස්කර තරගය සම තත්ත්වයට රැගෙන ආවේය. ඒත් සමගින් පන්දු 12කට මුහුණ දුන් ඉසුරු උදාන හයේ පහර හතරක්ද සමගින් නොදැවී ලකුණු 34ක් රැස්කර ගත්තේය. කළම්බු කිංග්ස් වෙනුවෙන් සුපිරි පන්දුවාරයත් ඉසුරු විසින් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක් විය. කළම්බු කිංග්ස්ට සාර්ථක ආරම්භයක් ලබාදුන් දිනේෂ් චන්දිමාල් සහ ලොරී එවන්ස් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 64ක සබඳතාවයක් පිහිටුවීය. එහිදී වේගවත් පිති ප්‍රහාරයක නියැලුණු චන්දිමාල් පන්දු 46කදී ලකුණු 80ක් රැස්කර ගත්තේය. නවීන් උල් හක් එවූ පන්දුවක් හමුවේ නුවන් ප්‍රදීප් අතට උඩ පන්දුවක් ලබාදීමෙන් චන්දිමාල් දැවී යන විට එම ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් එක්කොට තිබුණි. අදාළ දක්ෂතාවය හේතුවෙන් තරගයේ වීරයා සම්මානයත් චන්දිමාල්ට හිමි විය. කළම්බු කිංග්ස් ඉනිම ශක්තිමත් කළ ලොරී එවන්ස් සහ තික්ෂිල ද සිල්වා ලකුණු 22 බැගින් රැස්කළ අතර ඇන්ඩ්‍ර රසල් පන්දු 13කදී ලකුණු 24ක් රැස්කර ගත්තේය. කාසියේ වාසිය දිනාගත් කළම්බු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇරයුමෙන් කැන්ඩි ටස්කර්ස්ට පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව උදා විය. එහිදී කැන්ඩි පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක කුසල් පෙරේරා සහ ඇෆ්ගන් ජාතික රහමනුල්ලා ගුර්බාස් වේගවත් පිති ප්‍රහාරයක නියැළෙමින් පන්දුවාර 5.4ක් අවසානයේ පළමු කඩුල්ල සඳහා අගනා ලකුණු 75ක සබඳතාවක් පිහිටුවීය. පන්දු 19ක් තුළ ලකුණු 41ක් වාර්තාකරගෙන සිටි රහමනුල්ලා ගුරුබාස් ඔහු මුහුණ දුන් 20 වැනි සහ 21 වැනි පන්දු වලට පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතකය (53) සිය නම ඉදිරියේ සටහන් කර ගත්තේය. නායකත්වයේ වගකීම අකුරටම ඉටු කළ කුසල් පෙරේරා ලකුණු 87ක් රැස්කරගෙන සිටියදී එල්ල කළ පහර පිත්තේ කොනක වැදී ශෝට් ෆයින්ලෙග්හි සිටි අශාන් ප්‍රියන්ජන් විශිෂ්ට අයුරින් උඩ පන්දුවක් ලෙස රැක ගැනීමත් සමග කුසල්ට පිටියෙන් ඉවත් වීමට සිදු විය. පන්දු 52කදී වාර්තා වූ අදාළ ලකුණු සංඛ්‍යාව සඳහා හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් අන්තර්ගත විය. මෙම තරගයේදී කළම්බු කිංග්ස් කණ්ඩායම ඇන්ඩ්‍ර රසල්, මන්ප්‍රිත් ගෝනි, ලොරී එවන්ස් සහ ක්වයිස් අහමඩ්ගේ සහය ලබා ගත්තද, කැන්ඩි පිල විදෙස් ක්‍රීඩකයන් තිදෙනෙක් පමණක් සහභාගි කර ගැනීම විශේෂත්වයක් විය. කෝරෝනා වයිරසය ආසාදනය වීමෙන් සොහයිල් ටන්වීර්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නැති වීම හා මුනාෆ් පටෙල් හා බ්‍රෙන්ඩන් ටේලර් නිශ්චිත නිරෝධායන කාල සීමාව තවමත් සපුරා නොමැති වීම මත ඔවුන්ට කැන්ඩි කණ්ඩායම හා එක්වීමට නොහැකි වී තිබේ.
 

More News..