brand logo

ලක්ෂ 77ක වියදමින් ඉදිකළ' දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වවුලන් පදිංචියේ

15 December 2020

  රුපියල් ලක්ෂ 77 ක් ඇස්තමේන්තු වියදමින් සැකසූ මැදවච්චිය නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය බලධාරීන්ගේ නොසැලකිලිමත් බව නිසා මේ වන විට වල් බිහි වෙමින් පවතින බව මැදවච්චිය ප්‍රදේශවාසීහු පවසති. මේ වන විට මැදවච්චිය නව දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සම්පූර්ණ කර අවසන් වුවත් එහි වැට ගසා නොමැති නිසා එය විවෘත කළ නොහැකි බව බලධාරීහු ප්‍රකාශ කරති. පසුගිය මාර්තු වන තෙක් පවත්වාගෙන ගිය පැරණි දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලද, එම ගොඩනැගිල්ල හිමි මැදවච්චිය රාජ්‍ය ආයතනයක සේවය කළ ගණකාධිකාරිවරියකුගේ නේවාසික පහසුකම් සඳහා යොදවා තිබීම හේතුවෙන්, දිවා සුරැකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවත් එහි සේවය ලැබූ රාජ්‍ය සේවකයන් දැඩි අපහසුතාවකට මේ වන විට පත්ව ඇති බවත් මැදවච්චිය සෝවකයෝ පැවසූහ. පසුගිය යහපාලන ආණ්ඩුවේ සිටි ළමා හා කාන්තා කටයුතු ඇමැතිවරිය විසින් මෙම මැදවච්චිය නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා රුපියල් ලක්ෂ 77 ක මුදලක් වෙන් කර ලබා දී තිබුණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු නගරයට ආසන්නව පිහිටි සමෘද්ධි ගොඩනැගිල්ලට යාබද භූමියේ ඒ අනුව නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය මේ වන විට ඉදි කර ඇත. 2018 වර්ෂයේ ඉදි වූ මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල වසර 02ක කාලයක් වවුලන්ගේ නිජ බිමක් ලෙස වැජඹෙමින් පවතින බව එහි ගිය අපටද දක්නට ලැබුණි. අප මේ පිළිබඳ මැදවච්චිය වැඩ බලන ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතාගෙන් විමසීමක් කළෙමු, ඔය කියන පැරණි දිවා සුරැකුම් මධ්‍යස්ථානය අපේ ආයතනයේ නේවාසිකාගාරයක්. මම මේ ප්‍රදේශයට ඇවිත් දැනට සුළු කාලයක්. නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය පිළිබඳ තවම නිවැරදි තොරතුරක් දීමට අපහසුයි. ඒ පිළිබඳ මා සොයා බැලීමක් සිදු කරනවා යනුවෙන් ඒ මහතා පැවසීය. සිඩ්නි රුවන් - කහටගස්දිගිලිය
 

More News..