brand logo

ලක්ෂ 43ක් කොරෝනාට බියේ රැකියා හැර ගිහින්

14 October 2021

කම්කරු දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ දේ

ඇමරිකාවේ රැකියාවල නිරත වූවන් පසුගිය කාලයේ විශාල වශයෙන් සිය රැකියාවලින් ඉවත් වීමක් සිදුව ඇත. මේ බව හෙළිවී ඇත්තේ එරට කම්කරු දෙපාර්තමේන්තුව කළ සමීක්‍ෂණයකිනි.

පසුගිය අගෝස්තු මාසය වනවිට මිලියන 4.3ක සංඛ්‍යාවක් සිය රැකියාවලින් ඉවත්ව තිබූ බව මෙම සමීක්‍ෂණයෙන් අනාවරණය වී ඇත. එය එරට රැකියා කරන සමස්ත සංඛ්‍යාවෙන් සියයට 2.9ක පමණ ප්‍රතිශතයකි. මෙතරම් වේගයෙන් රැකියාවලින් ඉවත් වීමක් මෙයට පෙර කිසි අවස්ථාවක වාර්තා වී නොමැත.

සාමාන්‍යයෙන් මේ ආකාරයෙන් රැකියාවලින් ඉවත් වීම පෙන්නුම් කරනු ලබන්නේ නැවත රැකියාවක් සොයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ විශ්වාසයයි. එහෙත් ඉහත කී සමීක්‍ෂණයේදී පෙනී ගොස් ඇත්තේ ඊට වඩා වෙනස් තත්ත්වයකි.

මෙහිදී බොහෝ දෙනෙකු සිය රැකියාවලින් ඉවත්ව ඇත්තේ කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීම පිළිබඳව ඇති වූ බිය නිසා බව මෙහි දී හෙළි වී ඇත. වැඩි වශයෙන්ම රැකියාවලින් ඉවත් වී ඇත්තේ නිතර පාරිභෝගිකයන් සමග ගැවසෙන්නට සිදුවන ආකාරයේ රැකියාවල නිරත වූවන්ය. ආහාර සපයන අවන්හල් වැනි ව්‍යාපාරික ස්ථානවල සේවය කළ අය විශාල පිරිසක් මෙයට ඇතුළතය. මෙවැනි ක්‍ෂේත්‍රවල රැකියා කරමින් සිටි පුද්ගලයන් 892,000කට ආසන්න සංඛ්‍යාවක් රැකියාවලින් ඉවත් වී තිබේ. වැඩිම පිරිසක් එසේ රැකියාවලින් ඉවත්ව ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ ගිය පසුගිය අගෝස්තු මාසයේයි. එය කලින් මාසයට වඩා 157,000ක වැඩි වීමකි. සහන් වික්‍රමගේ
 

More News..