brand logo

ලක්ෂ විසිඅටදහසක් වැයකර ගත්ත වාහන කාළඟද?

10 February 2020

ඉකුත් ආණ්ඩුව සමයේ රුපියල් ලක්ෂ විසි අටදහසක් වැය කරමින් ආනයනය කර ඇති වාහන මේ වන විට කා සතුව පවතින්නේ ද යන්න වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ යුතු බවද පැවැසේ. එම වාහන ගෙන්වන විට එවකට ඒ ඒ අමාත්‍යාංශ දැරූ ඇතැම් මැතිඇමැතිවරුන් තමන් එම වාහන පාවිච්චි නොකළ බවට කරන ප්‍රකාශ හේතුවෙන් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර ඇත. අමාත්‍යාංශ සඳහා ගෙන්වන ලද වාහන ඇමැතිවරුන් පාවිච්චි නොකර වෙනත් පුද්ගලයන්ට ලබා දී තිබේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු යැයිද නව වාහනයක් තමන් නුදුටු බවට ඇතැම් මැතිඇමැතිවරු කර ඇති ප්‍රකාශ අනුව පෙනී යන්නේ එම වාහන අස්ථාන ගත වී ඇති බව යැයිද මන්ත්‍රීවරයාගේ අදහස වෙයි. වාහන පාවිච්චි කිරීම කෙසේ වුවද වාහන නොමැති යැයි කීම බරපතළ යැයිද මේ නිසා අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් පවත්වා තත්ත්වය රටට හෙළි කළයුතු යැයිද ඔහු කියයි. මේ අතර 2005-2015 කාලයේ කැබිනට්, කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සඳහා ලබාගත් වාහන පිළිබඳ ලේඛනයක් සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙයි. යහපාලන කාලයේ ඇමැතිවරුන්ට ලබාගත් වාහන පිළිබඳ ලේඛනයක් සහ වැය කළ මුදල් පිළිබඳව වාර්තාවක් ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලි​මේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය. ඒ ආකාරයට 2005-2015 කාලයේ ලබාගත් වාහන පිළිබඳ වාර්තාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. නිලන්ත මදුරාවල, උදයජීව ඒකනායක
 

More News..