brand logo

ලක්ෂයක් ඇප තැබූ පොල්ගෙඩියේ නො​ඇසුන කතාව

23 January 2021

මේ දිනවල පොල් මිල ඇසූ විට එළොව පොල් පෙනෙන්නේය. ඒතරමටම පොල් මිල අධිකය. ඒත් ඊයේ පෙරේදා පොල් ගැන වැඩිපුරම කතා වූයේ මිල අධිකම නිසා නොවේ. පොල් ගෙඩියක් සොරකම් කළ අයකුට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂයක දඩ මුදල් නියම කළබවට පැතිරී ගිය පුවතය. එම පුවත සමාජ මාධ්‍ය කලඹන්නක් බවට පත් වී තිබුණේ රුපියල් එකසිය විස්සක පොල් ගෙඩියක් සොරකම් කිරීමේ චෝදනාවට ලැබුණු අධිකරණ නියෝගය ගැනයි. එම පුවත සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක් වි තිබුණේ පොල් ගෙඩියක් වැනි සුළු දෙයක් සොරකම් කළ අයකුට දුන් දඬුවම වැඩි බව කියමිනි. පොල් ගෙඩියක් සොරකම් කරන්නේ එදා වේල කන්න බොන්න නැති දුප්පත් අහිංසක ගැමියකු බව ඔවුන්ගේ ​කල්පනාවය. මෙවැනි අහිංසකයකුව අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන බොහෝ දෙනෙක් පොලිසියට පොල් ගසා තිබුණේය. මේ සිද්ධිය ගැන සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ තල් අත්තට බොරලු වැටුණු වැනි කතාවකි. පොල් ගෙඩියක් සොරකම් කළ අයකුට ගම්පහ අධිකරණය ලක්ෂයක දඩයක් නියම කර තිබුණේ නැත. අධිකරණය කර තිබුණේ චෝදනාව ලද සැකකරුට ලක්ෂයක ශරීර ඇප නියම කිරීමය. ඇපයක් නියම කිරීම යනු දඩයක් නොවන බව නීතිය ගැන අබමල් රේණුවක් හෝ දන්නෝ දනිති. ගම්පහ නීලම්මහර ප්‍රදේශයේ ඉඩම්හිමි වැවිලිකරුවකු මෙන්ම විදුලි අධිකාරිවරයකුද වන ඩබ්ලිව්.ඒ. පාලිත සරත්චන්ද්‍ර රූපසිංහ මල්වතු හිරිපිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මේ සිද්ධියට මුල වූවේය. නීලම්මහර බුත්පිටියේ මගේ ඉඩම අක්කර දෙක හමාරක්. ගමේ කට්ටියක් එකතු වෙලා මේ ඉඩමේ පොල් ගෙඩියක් තියා කුරුම්බා ගෙඩියක්වත් තියා ගන්න දෙන්නේ නැහැ. හරියට වඳුරෝ පැන්න වගේ තමයි විනාශ කරන්නේ. මේක අද ඊයේ දෙයක් නොවේ. දැන් අවුරුදු දහයක විතර ඉඳලා මේක වෙනවා. අපේ තාත්තා ඉඩම බලාගන්න කාලෙත් මේ දේම වුණා. හොරකම් කරන අය හුඟක් අවස්ථාවල අතටම අහුවුණා. ඒත් බැණලා අවවාද කරලා ඇරිය මිසක් නීතිමය කටයුතුවලට ගියේ නැහැ. බැරිම තැන ලක්ෂ ගණනක් වියදම් කරලා ඉඩම වටේට කම්බි ගැහුවා. ඒත් මේ කට්ටිය එකතුවෙලා කම්බිකණුවල හරක් බැඳල කම්බිකණු කඩල දැම්ම. ඒ හැම දෙයක්ම දරාගෙන අවුරුදු ගාණක් හිටියා. මට වෙන කරන්න දෙයක් නැහැ. මම බැරිම තැන තමයි පොල් කඩන හොරෙක් අල්ලලා පොලිසියට ගෙනිහින් දුන්නේ.’’ පොල් ඉඩමේ හිමිකරුවා අපට එසේ කීවේය. මේ ඉඩමේ හිමිකරුවා පමණක් නොව පොල් ඉඩම් ඇති සියල්ලෝම ගම්වලදී මෙවැනි ප්‍රශ්නවලට මුහුණ පාති. කඩමණ්ඩියට ගොස් ගෙදර යන ගමන් වත්තක වැටී තිබූ පොල් ගෙඩියක් අහු​ලාගෙන යන අහිංසක ගැමියන් සිටියේ ඉස්සරය. ඉස්සර වලව් වතුවල පොල් ගෙඩියක් අහුලාගෙන යන කතුන් හාමුගේ අතටම අහු වූ විට ඔහු ඇය ලැහැබට රැගෙන ගිය අවස්ථා නැතිවාම නොවේ. එහෙත් දැන් ඉන්නේ බඩගින්නට රොටියක් තම්බාගෙන කෑමට පොල් ගෙඩියක් අහුලන් යන අහිසංක ගැමියන් නොවේ. ඊට කදිම කතාවක් කුරුණෑගලින් මීට වසර කීපයකට පෙර අසන්නට ලැබුණි. තම වත්තේ පොල් හොරකම නතර කරන්නට බැරි තැන එහි හිමිකරුවා කළේ වත්ත බැසිල් රාජපක්ෂට අයත් බව ප්‍රචාරය කිරීමය. ඉන් පසුව වත්තේ පොල් අහුලන්නට කවුරුත් ආවේ නැත. ඒ කතාවට තටු ලැබී අන්තිමේදී රට පුරා පැතිරී ගියේ කුරුණෑගල පොල් වතු රැසක් බැසිල්ට අයිති බවය. කෙසේ නමුදු නීලම්මහර පොල් ඉඩමේ අයිතිකරුවාට තිබුණේ තම වත්තේ පොල් ඇහිදන් යෑමේ ප්‍රශ්නය පමණක් නොවේ. ‘‘වත්තේ වැඩ කරන්න උදළු අලවංගු වගේ දේවල් ගෙනාවාම ඒවත් හොරකම් කරනවා. මේ සේරම දේවල් අරගෙන විකුණලා කසිප්පු බොන එක තමයි මේ පුද්ගලයින් කරන්නේ.’’ මෙලෙස මෙම පොල් සහ භාණ්ඩ සොරකම සිදු කෙරෙන්නේ ඉඩම් හිමියා රාජකාරිය සඳහා නිවසෙන් පිටවීමෙන් පසුවය. ‘‘දවසක් මම හැරිල එනකොට ම​ගේ අතටම අහුවුණා. එදත් මම අවවාද කරලා බැණලා එළෙව්වා. බැරිම තැනම තමයි පොලිසියට කිව්වේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. පොලිසියෙන් කිව්වා රුපියල් එකසිය විස්සක්නේ පොල් ගෙඩියක් ඒක අතහැරල දාන්න කියලා. විශේෂම කරුණ තමයි මේ පුද්ගලයන් කණ්ඩායම තමන් පොලිසියේ අය අඳුනන බව කියල ගමේ මිනිස්සු බය කරලා තියෙන්නේ. ඉතින් මොනවා වුණත් මිනිස්සු පැමිණිලි කරන්නේ නැතුව ඉන්නවා බයට. මට ඕන නිදහසේ ජීවත් වෙන්න.පොල් ගෙඩියකට මේ කරපුදේ වැරදියි කියලා මට අන්තර්ජාලය ඔස්සෙත් හැම තැනින්මත් චෝදනා එනවා. ඒත් මේ හොරු නිසා අපි විඳින දුක ගැන කතා කරන්න කවුරුත් නැහැ.’’ මේ සම්බන්ධව මල්වතුහිරිපිටිය පොලිසින් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ නීතිය අනුව කටයුතු කළ යුතු බවට පැමිණිලිකරු තරයේම කියා සිටි නිසා සැකකරු උසාවියට ඉදිරිපත් කළ බවයි. ‘‘දණ්ඩ නීති සංග්‍රහයේ 433 හා 367 යන වගන්ති යටතේ අයුතු ඇතුළුවීම, සොරකම යන චෝදනාවන්ට සොරකම කරන ලද පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා. ඒත් සමාජ මාධ්‍ය තුළ ඉතාමත් පහත් අයුරින් පොලිසියට චෝදනා එල්ල කරනවා. ඒ ගැන අපි බොහෝ සෙයින් කනගාටුවට පත්වෙනවා.’’ මල්වතුහිරිපිටිය පොලිසියේ උසස් නිලධාරියකු කීවේය. හේමන්ත ලියනපතිරණ
 

More News..