brand logo

ලක්ෂයකට පුහුණුව දෙන සම්මුඛ පරීක්ෂණ එන සතියේ

21 February 2020

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකාය මගින් අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කිරීමට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. එළඹෙන 26, 27, 28 සහ 29 යන දිනයන්හි සම්මුඛ පරීක්ෂණ පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එන්. හෙට්ටිආරච්චි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඊයේ (20 වැනිදා) දැනුම් දී ඇත. සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පත් කිරීමේ බලය ලබාදී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරුන්ටය. ප්‍රමාණවත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පත් කිරීමේදී එක් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකට දිනකට අවම වශයෙන් ඉල්ලුම්කරුවන් 100ක්වත් සම්මුඛ පරීක්ෂණයට භාජනය කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සංයුතිය නිලධාරීන් තිදෙනකුගෙන් සමත් විය යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ දිස්ත්‍රික්​ ලේකම් කාර්යාලයේ සේවය කරන සුදුසු මාණ්ඩලික නිලධාරියකු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කළ යුතු වේ. ආරක්ෂක අමාත්‍යාංශය මගින් නම් කර එවනු ලබන ත්‍රිවිද හමුදාවේ හෝ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් දෙදෙනකු සාමාජිකයන් ලෙස පත් කළ යුතුය. අට ශ්‍රේණිය සමත් පවුලේ කිසිම සාමාජිකයකු රජයේ රැකියාවක නිරත නොවන පවුලක රැකියා විරහිත තරුණ තරුණියන් මෙම බළකායට බඳවා ගැනීමට නියමිතය.   උදයජීව ඒකනායක
 

More News..