brand logo

ලං.වි.මෙන් පාරිභෝගිකයාට කෝටි දෙසීයක පොල්ලක්

16 February 2019

ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලි ලබා ගන්නා පාරිභෝගිකයන් ඒ වෙනුවෙන් තබන ස්ථාවර තැන්පතුව සඳහා වාර්ෂික පොලියක් ගෙවිය යුතුව තිබියදී ලංවිම වසර 9 ක් තිස්සේ පාරිභෝගිකයින් ලක්ෂ හැට නවයකට අධික පිරිසකට එම පොලී මුදල් ගෙවීම පැහැර හරිමින් කෝටි ගණනක මුදලක් ගෙවා නැත. 2009 අංක 20 දරණ ලංකා විදුලි බල මණ්ඩල පනතේ 28 (3) උප වගන්තිය අනුව මණ්ඩලය තබා ගන්නා ඇප මුදල සඳහා ගෙවිය යුතු පොලිය මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නියම කර තිබේ. 2017 වර්ෂයට සියයට රුපියල් 8.93%ක පොලියකුත්, 2018 වර්ෂයට සියයට රුපියල් 11.52ක පොලියකුත් ගෙවිය යුතු බවට මහ බැංකුවේ පොලී අනුපාත අනුව මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර ඇත. 2016 හා 2017 වර්ෂ දෙකට පමණක් පාරිභෝගිකයින් ලක්ෂ 62කට රුපියල් ලක්ෂ 19630ක මුදල් පොලියක් ගෙවීම විදුලි බල මණ්ඩලය පැහැර හැර තිබේ. මෙම තැන්පතු පොලිය ලැබිය යුතු බව බොහෝමයක් පාරිභෝගිකයන් දන්නේ නැත. මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර කාරක සභාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව හා ලංකා විදුලි බල මණ්ඩලය 2018 අගෝස්තු 7 වැනි දින කැඳවා ඇති අතර එහිදීද විදුලි බල පනත අනුව නීතිමය අවශ්‍යතාවක් ඉටු නොකිරීම ගැන අවධානයට ලක්වී ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාරිභෝගික තැන්පතුවට පොලී ගෙවිය යුතු බවට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර ඇතත් රජය එයට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බවයි. චමින්ද සේනාරත්න
 

More News..