brand logo

ලංවිමේ වාහන 3000ක් පමණ තිබියදී කුලියට 2500ක් අරගෙන

11 January 2020

ලංකා විදුලිබල මණ්ඩලය විසින් කුලී පදනම මත ලබාගෙන ඇති වාහන සඳහා මාසකට ලක්ෂ 2500කට ආසන්න මුදලක් ගෙවන බව එහි ප්‍රවාහන සේවක සංගමයේ සභාපති ඒ.කේ. රංජිත් සුබවීර පැවසීය. ඒ අනුව වාර්ෂිකව අවම වශයෙන් බිලියනකට ආසන්න මුදලක් ඒ වෙනුවෙන් වැය කරන බවත්, මණ්ඩලය මෙම වියදම දරන්නේ එය සතුව වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් තිබියදී බවත් ඔහු කීය. සභාපතිවරයා සඳහන් කරන පරිදි මණ්ඩලය විසින් කුලී පදනම මත ලබාගෙන ඇති වාහන සංඛ්‍යාව 2500කට අධිකය. සාමාන්‍යයෙන් ඔවුන්ට මසකට රුපියල් අසූ දහසේ සිට එක්ලක්ෂ හැට දහස දක්වා මුදලක් ගෙවනු ලබයි. පාඩු ලබන ආයතනයක්ව ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ වාහන අවභාවිතය පිළිබඳව දන්වා රජයේ විගණකාධිපති විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක්ද ලබාදී තිබේ. ආයතනය සතු වාහන ගාල්කර තිබියදී කුලී පදනම මත ලබාගෙන ඇති වාහන ධාවනයට යෙදවීම නිසා ආයතනයේ රියැදුරන්ද අසරණව ඇති බව ඔහු පෙන්වා දෙයි. ඔහු පවසන ආකාරයට ආයතනයේ අවභාවිතයන් පිළිබඳ පරීක්ෂා කිරී‍මේදී රියැදුරන් සහ ආරක්ෂකයන් ප්‍රධාන සාධක බවට පත්ව ඇත. නිලධාරියෙක්, රියැදුරකු සමග ආයතනයේ වාහනයක් යොදා ගන්නේ නම් එය යම් නීති පද්ධතියකට යටත්ය. වෙලාව සහ යන එන ස්ථාන සටහන් කරගැනීම, විදුලිබල මණ්ඩලයට අයත් භූමියක ස්ථානගත කිරීම, නිලධාරියා විසින් සේවකයා සඳහාද පහසුකම් සලසා දීම ආදිය මේ අතර වේ. මෙකී නීති රෙගුලාසිවලින් මිදීම සඳහා බොහෝ නිලධාරීන් කුලී පදනම මත වෙනත් වාහන යොදාගන්නා බව ඔහු කීය. මසකට ලක්ෂ 50කට ආසන්න දුරක් ධාවනය වන මෙම වාහන ඉන් බහුතරයක් ආයතනික කටයුතු සඳහා නොවන බවද හෙතෙම පෙන්වා දෙයි. 2016 නිකුත් වූ වාර්තාවලට අනුව ලංකාවේ මාර්ග පද්ධතිය කිලෝමීටර් 93,000ක් වුවද විදුලිබල මණ්ඩලය මසකට ලක්ෂ 50ක කිලෝමීටර් සංඛ්‍යාවක් ධාවනය සඳහා අනුමැතිය ලබාදෙන්නේ කුමන පදනමකින්දැයි හෙතෙම ප්‍රශ්න කර සිටී. ආයතනය සතු වාහන 3000 අතුරින් 800කට ආසන්න සංඛ්‍යාවක් විකිණීමට සූදානමක් ඇති බවද හෙතෙම පවසයි. දිගු කාලයක් ඒවා භාවිතයට ගැනීම මණ්ඩලය විසින් ඉදිරිපත් කරන තර්කය බව පෙන්වා දෙන සභාපතිවරයා මෙකී වාහන වෙනුවට නැවත යොදාගන්නේ එම වාහනය මෙන් කිහිප ගුණයක් වටිනා වාහනයක් නම් එතැන ගැටලුවක් ඇති බව අවධාරණය කරයි. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ එක් සේවකයකු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති වාහනයක් භාවිත කරන්නේ නම් ආයතනයේ කඩාවැටීම පිළිබඳව පුදුම විය යුතු නැති බවද හෙතෙම පවසයි. මේ අතර විශේෂයෙන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ වාහන අවභාවිතය ඉහළ බවද ඔහු සඳහන් කළේය. එහි ඇතැම් වාහන මසකට කිලෝමීටර් 9000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වී ඇති අතර එයින් බහුතරය ආයතනික කටයුතු සඳහාද නොවන බව හෙතෙම කීය. ‌මේ සම්බන්ධව ‘අරුණ’ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරාගෙන් විමසීමක් කළ අතර ඇය එහිදී සඳහන් කළේ තනතුර භාරගෙන කෙටි කලක් ගතවී ඇති බැවින් තමා ඒ පිළිබඳව දැනුවත් නැති බවයි. කෙසේ නමුත් මේ පිළිබඳව සොයා බලා ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ශිරන්තනි මානවඩු
 

More News..