brand logo

ලංකා බැංකු වත්කම් ට්‍රිලියන 3 ඉක්මවයි

03 April 2021

ලංකා බැංකුවේ වත්කම් ප්‍රමාණය 2021 පළමු කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 3 ඉක්මවා ගොස් ඇත. 2020 වර්ෂය ඇතුළත බැංකුවේ ණය සහ තැන්පතු ප්‍රමාණයද රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා තිබේ. මේ බව අනාවරණය කෙරුණේ පෙරේදා (31 වැනිදා) ලංකා බැංකු සභාපති කාංචන රත්වත්තගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදීය. එම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණු ආකාරයට අභියෝගාත්මක වසරක් වූ නමුත් 2020දී බැංකුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සඳහා රුපියල් බිලියන 128.9ක ණය ප්‍රමාණයක් නිකුත් කර ඇත. මීට අමතරව පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් 19 වසංගතය හමුවේ අසීරුතාවට පත් ගනුදෙනුකරුවන් දෙලක්ෂ පනස්දහසකට වැඩි පිරිසකට රුපියල් බිලියන 589.4ක් වටිනා තාවකාලික ණය සහන ලබාදී ඇති අතර ‘සෞභාග්‍යයා’ ණය යෝජනා ක්‍රමය යටතේ අයැදුම්කරුවන් 18,000කට වැඩි සංඛ්‍යාවකට රුපියල් බිලියන 39.1 ඉක්මවූ ණය ප්‍රමාණයක් ලබාදී තිබේ. එසේම අනපේක්ෂිත අභියෝගයන් මධ්‍යයේ වුවද 2020 වර්ෂයේදී ලංකා බැංකුවේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 29ක් ලෙස වාර්තා වී ඇති අතර ආදායම් බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 23.6කි. තවද බැංකුවේ වත්කම් පදනම 2020 වර්ෂයේදී 24%කින් රුපියල් ට්‍රිලියන 2.9 දක්වා වර්ධනය වී ඇති අතර එය ප්‍රධාන වශයෙන් ණය වාර්තා තුළ 28%ක වැඩිවීමකි. එසේම ලංකා බැංකුව තවත් සන්ධිස්ථානයකට ළඟා වෙමින් 2020 වර්ෂය තුළ රුපියල් ට්‍රිලියන 2 සීමාව පසුකර ඇති අතර දළ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.1ක් සහ මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.5ක් ලෙස වාර්තා වී ඇත. නයන තරංග ගමගේ
 

More News..