brand logo

ලංකාව හයිටියක් වෙන්න යන හැටි!

11 January 2019

පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් හයිටි රාජ්‍යය පිළිබඳ කළ සඳහනකට පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබී තිබිණ. හයිටිය යනු දුප්පත්කමත් ඒ නිසාම ඇතිවන නූගත්කම, ලෙඩරෝග පිරි රාජ්‍යයකි. මේ පීඩාව නිසාම එරට සිවිල් අරගල ඇති වන අතර ඒවා විසඳීමට යැයි දැන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් පවා රැඳී සිටී. ඉඳුරාගාරේ හිමියන් සිය කතාවෙන් පෙන්වා දෙන්නේ හයිටි රාජ්‍යය මේ තත්ත්වයට පත්වූයේ කෙසේද යන්නය. එය ඇරඹෙන්නේ එරට ස්වාභාවික සම්පතක් වන ගුවන් යානා නිෂ්පාදනයට යොදා ගැනෙන ලෝහ වර්ගයක් සහිත නිධි ඇමෙරිකාවට ලබා නොදීමට හයිටි ආණ්ඩුව තීරණය කිරීමත් සමගිනි. ආණ්ඩුව ඇමෙරිකාවේ යෝජනාවට එකඟ නොවීමෙන් ටික දිනකට පසු එරට ආණ්ඩු වෙනසක් සිදුවිය. ඒ ආණ්ඩු වෙනසත් සමග ඇමෙරිකාවේ ඉල්ලීම ඉටුවිය. තවත් වෙනස්කම් ගණනාවක්ම සිදුවිය. එතෙක් පැවැති අන්දමට එරට සැමට අධ්‍යාපනය අනිවාර්ය නොවීය. සියලු දෙනාට බියර් නොමිලයේ ලබාදීමට පියවර ගැනුණු අතර අරක්කු මිල ජලයේ මිලට වඩා අඩුවිය. සියලු දෙනාට නොමිලයේ ටැබ් පරිගණක සේම අන්තර්ජාල පහසුකම්ද නොමිලයේ ලබාදුණි. මස් හා පාන්පිටි ආශ්‍රිත නිෂ්පාදන රට තුළ සුලභ විය. අවසානයේ රටවැසියාගේ නූගත්කම, බීමත්කම හා අවිචාරවත් ලිංගික හැසිරීම් සහ වැරදි ආහාර රටා හේතු කොට ගෙන අවුරුදු 80ක් වූ එරට පරමායුෂ අවුරුදු 45 දක්වා අඩුවිය. ඇමෙරිකාව දිගින් දිගට හයිටියේ ඛනිජ සම්පත කොල්ලකමින් සිටින අතර ස්වදේශිකයන්ට නූගත්කම, දියවැඩියාවේ සිට ඒඩ්ස් දක්වා විවිධ රෝගාබාධ ප්‍රතිලාභ ලෙස ලැබී තිබේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව යුද්ධයක් නැති හයිටි රාජ්‍යයේ පැලපදියම් වී ඛනිජ තෙල් නිධි ප්‍රදේශ ස්වදේශිකයන්ගෙන් ආරක්ෂා කරමින් සිටී. ඉඳුරාගාරේ හාමුදුරුවන්ගේ කතාවෙ අන්තර්ගතය ⁣එයයි. දැන් අපි අපේ රට වන ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. දෙදහස් පහළොවේ ජනවාරි මස මෙ රට සිදු වූ ආණ්ඩු පෙරළියටද, එක්සත් ජාතීන්ගේ සංවිධානය, අමෙරිකාව මෙන්ම යුරෝපා සංගමය ප්‍රමුඛ බටහිර රටවල්වලත් රාජ්‍ය නොවන සංවිධාන බර ගණනකත් නොමසුරු දායකත්වය ලැබුණ බව නොරහසකි. යහපාලනය නමින් හඳුන්වාගත් මේ නව පාලනය මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දහනව වෙනි වරටත් සංශෝධනය කළ අතර, එමගින් විධායකයේ බලතල සමහරක් අගමැතිවරයාටත් තවත් කොටසක් ව්‍යවස්ථාදායකයේ තෝරාගත් පුද්ගලයින්ටත් සමහර සිවිල් වැසියන් කීප දෙනෙකුටත් සම්ප්‍රේෂණය කරන ලදී. කෙසේවෙතත් යහපාලන රජය සහ එහි න්‍යායාචාරීන් බලාපොරොත්තු වූ ලෙසටම මෙය සිදුකර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ ලබා නොදුන්නත්, එමගින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහා ජනතාවට ලබාදී ඇති ජනතා පරමාධිපත්‍යය කිසියම් ආකාරයක දුර්වල කිරීමක් සිදු කරන ලද බව බොහෝ විශ්ලේෂකයන් විවිධ අවස්ථාවල පෙන්වා දී තිබේ. එය පසුගිය දිනවල මෙ රට සිදුවුණ දේශපාලන හැලහැප්පීම් ඔස්සේ ජනතාවට ද මනාව පැහැදිලි වූ බව ලියුම්කරුගේ විශ්වාසයයි. දහ නවවන සංශෝධනයට සමගාමීව අධ්‍යාපන ඇමතිවරයා ඉතිහාසය සහ බුද්ධාගම යන විෂයයන් පාසැල් විෂය ධාරාවෙන් බවත් කළ යුතු බවට ⁣අදහස් ඉදිරිපත් කළ අතර, පාසැල් දරුවන්ට නොමිලේ ටැබ් පරිගණක සහ නොමිලේ වයිෆයි ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදි. කෙසේ වෙතත් පරිගණක ලබාදීම මේ වන විට ජනාධිපතිවරයා ගේ මැදිහත් වීමෙන් අතරමග නතර වී ඇත. අනාගමික රාජ්‍ය සංකල්පය සංහිඳියා කාර්යාලය හරහා සමාජ ගත කිරීමට උත්සාහ කළ අතර බියර් මිල ඉතා විශාල වශයෙන් පහත හෙළන ලදී. එමෙන්ම කාන්තාවන්ට මත්පැන් වෙළෙඳාම් කිරීමට සහ මිලදී ගැනීමට හැකිවන අණ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ආගමික නායකයන් ඇතුළු ජනතාව විරෝධය පෑම නිසා රජය මේ අණ පනත් හකුළා ගන්නා විට ඊනියා රාජ්‍ය නොවන සංවිධාන විසින් එම හකුළාගැනීමට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ලදි. යහපාලන රජය සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට සහාය දැක්වූ අතර රණවිරුවන් දංගෙඩියට යවන ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දුන්නේය. දරුණු ගණයේ ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය ⁣සිදු කිරීමකින් තොරව නිදහස් කරනු ලැබූ අතර පොහොර සහනාධාරය නතර කර ගොවියා අධෛර්යමත් කරනු ලැබීය. එමගින් මේ රටේ ආර්ථිකයේ අත්තිවාරම බඳු වූ කෘෂිකර්මාන්තය අඩාළ කිරීමට කටයුතු කරන ලද අතර, රටේ කුඹුරු ප්‍රමාණය අති විශාල බැවින් එම ඉඩම් ⁣ගොඩකර වෙනත් කාර්යයන් සඳහා යොදාගැනීමට කටයුතු කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ඔහු ඊට අවශ්‍ය අණපනත් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස අදාළ අංශවලට උපදෙස් දීමට ද කටයුතු කළේය. කෘෂිකාර්මික වේවා කාර්මික වේවා රටේ නිෂ්පාදන අංශ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වීමට ඉඩ හරිනු ලැබූ අතර නිෂ්පාදනය අඩාළ කරමින් පරිභෝජන හා සේවා සපයන ආයතන විශාල වශයෙන් ඇතිවීමට ඉඩ හරින ලදි. හන්දියක් හන්දියක් පාසා තිබූ ඇඟලුම් කර්මාන්තශාලා අතරුදන් වූ අතර ඒ වෙනුවට හන්දිගානේ සුපිරි වෙළෙඳසැල් බිහිවිය. සම්බාහන ආයතන රට බීම වෙළෙඳසැල් ඇති කළ අතර, කඩල, මුං ඇට, කව්පි, සහල් මතු නොව මාළු, එළවළු, කිරි, ආදී සියල්ල ආනයනය කිරීම ආරම්භ විය. ආනයනික ආහාරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ආයතන අකර්මණ්‍ය වී ඇති අතර, ඕනෑම වස විසක් සහිත ආහාර පරීක්ෂාවකින් තොරව රට තුළට ගලා එ්මට ඉඩ හරින ලදි. මෙරට හැදෙන පළා කොළේට, පලතුරු ගෙඩියට එළවළු ටිකට පවා වස විස එක්කරන අතර මෙම ක්‍රියාවන් පාලනය කිරීමට ඇති ආයතන අකර්මණ්‍ය වීමට ඉඩහරින ලදි. මේ රටේ සාමාන්‍ය ජනතාව අතර අද උපන් දරුවගේ සිට හෙට මැරෙන්න සිටින මහල්ලා දක්වා අයට ආහාරයට ගැනීමට සිදුවී අත්තේ වස විසය. වකුගඩු රෝග දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි බෝ නොවන වසංගත රෝග දැන් මෙරටද ගිල ගනිමින් ඇත. වියළි දණ්ඩක් පොළොවෙ අැන්නත් දලු දමා ආහාරයට ගත හැකි අලයක්, කොළයක්, ගෙඩියක් දෙන පසක් ඇති මෙරටට බතල අලයත් ආනයනය කිරීම හාස්‍යජනකය. නිෂ්පාදනය අකර්මණ්‍ය කර අපනයන ආදායම අහිමි කරගෙන සදාකල් සියල්ල පිටරටින් මිලදී ගැනීමට හැකිවන්නේ කෙසේද? මේ පාලකයන් අපේ රට ණය උගුලක ද හිරකරමින් සිටිනවා නොවේද? මේ රජය දැන් රටේ ජනතාවට දෙදහස් පහළොවේ දුන් පොරොන්දු ඉටු නොකර නොදුන් පොරොන්දු ඉටුකිරීමට කැපවීමෙන් කටයුතු කරන බව පෙනී යයි. එසේ නම් මේ සිදු වෙමින් පවතින්නේ හයිටිවල සිදුවූ දෙයමද? මේ දේවල් මේ ආකාරයට සිදුවෙන අතරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් පිහිටවුනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් අනු කමිටු 6 වාර්තා නොබෝදා අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලදි. අදාළ අනුකමිටු වාර්තා මගින් මධ්‍යම රජයට අයිති ඉඩම්, පොලිස්, පරිපාලන සහ මූල්‍ය බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබා දීමට මෙන්ම පළාත් සභා සඳහා විධායකයට මැදිහත් වීමේ හැකියාව දුර්වල කිරීම සඳහාත් නිර්දේශ ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්නගේ මෙහෙයවීම යටතේ, ඩී.සිද්ධාර්ථන් සභාපතිත්වය දරන “මධ්‍යම – පර්යන්ත සබඳතා පිළිබද අනුකාරක සභාව“ විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය පාලන ඒකක අතර බල අධිකාරිය බෙදී යෑම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මේ කමිටුවට පැවරී තිබෙන වගකීම බව සඳහන්වේ. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සඳහා ලබා දී ඇති, එහෙත් මේ දක්වා පත්වූ කිසිදු රජයකින් බලාත්මක නොකළ ඉඩම්, පොලිස්, අධිකරණ, මූල්‍ය, බලතල පූර්ණ වශයෙන් පළාත් සභාවට පැවරීමට එම කමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇත. පළාත්බද රජයේ ඉඩම් පරිපාලනය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන තීරණ ගැනීමේ බලතල පළාත් සභාවට පැවරීමට නිර්දේශ කර ඇති අතර, අන්තර් පළාත් සංවර්ධන ව්‍යාපෘති සඳහා තම පළාතේ ඉඩම් නිදහස් කරනවාද යන්න තීරණය කිරීමේ බලතලද පළාත් සභාවට පවරා තිබේ. ඒ වගේම නව ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරය මුළුමනින් අකර්මණ්‍ය වූ නාමික තනතුරක් බවට පත් කිරීමටත්, උතුරු සහ නැගෙනහිර පළාත් එක් කර එම පළාත් දෙමළ ජනතාවගේ නිජබිම ලෙස පිළිගැනීමටත්, පළාත් එකකට හෝ ඊට වැඩි ගණනකට එක්ව හෝ වෙන් වෙන්ව ජනමත විචාරණ පවත්වා තීන්දු තීරණ ලබා ගැනීමේ අවස්ථාව ලබා දීමටත් යෝජනා කර තිබේ. මෙහි ඇති භයානකම කරුණ නම් මෙම ව්‍යවස්ථාව කිසි දිනක වෙනස් කළ නොහැකි පරිදි, සංශෝධනය කිරීමට අවශ්‍යනම් ”සියලු පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය වේ” යනුවෙන් වගන්තියක් යෙදීමට කටයුතු කර තිබීමය. මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් ..''අපි එජාපය සහ ජවිපෙ සමග එක්වී නව ව්‍යවස්ථාව ගෙන එනවා. උතුරු නැගෙනහිර එක්කර ආණ්ඩුකාරවරයාගේ බලතල ඉවත් කරනවාමයි. ඊට පස්සේ බෙදන්න අමුතුවෙන් රටක් ඉතුරු වෙන්නෙ නෑ" යැයි ප්‍රකාශ කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ප්‍රකාශයක් වුවත් සුමන්දිරන් වැනි අයට එම නීති බල නොපාන බවක් ද පෙනෙන්නට තිබේ. එක් පසෙකින් හයිටියේ මෙන්ම රට හැම පැත්තකින්ම විනාශවීමට ඉඩ හැර ඇති අතර අනෙක් පසින් රට කෑලිවලට කඩාදැමීමට ව්‍යවස්ථා සංශෝධන කරළියට ගෙන එමින් පවතී. මේ තත්ත්වයට විරුද්ධව නැගී එන ජනතා විරෝධය සමනය කිරීමට උතුරට බුදුපිළිම එපා කියූ සුමන්දිරන්ලා ම නව ව්‍යවස්ථාවෙත් බුද්ධාගමට දැනට තියෙන ප්‍රමුඛස්ථානය වෙනස් කරන්නේ නැති බවට ප්‍රකාශ නිකුත් කරමින් සිටී. නමුත් ඉහත යෝජනා සමග නව ව්‍යවස්ථාව සම්මත වුවහොත් ඕනෑම පළාත් සභාවකට බෞද්ධ ආගමට දැනට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ස්ථානය මධ්‍යම රජයෙන් ස්වායත්තව තීරණය කිරීමේ හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස නාගදීප විහාරය ඉවත් කරනවාද නැත්ද යන්න උතුරු නැගෙනහිර පළාත් සහාවට තීරණය කිරීමට හැකිවනවා මෙන්ම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි විදේශයකට විකුණනවාද නැත්ද යන්නත් තීරණය කිරීමේ ස්වායත්ත අධිකාරිය ද ඔවුන්ට හිමිවනු ඇත. කෙසේවෙතත් මෙම යෝජනා සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගෙන රටේම ජනමත විචාරණයකින් නැවත සම්මත කරගැනීම අවශ්‍ය වේ. පවතින වර්තමාන ව්‍යවස්ථාවේ තිබෙන විශිෂ්ටත්වය මෙයයි. කිසියම් පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක හෝ අවස්ථාවාදී දේශපාලන පක්ෂයක හෝ වුවමනාවට රටේ ඉරණම තීන්දු කරන්නට පවතින ව්‍යවස්ථාවේ ඉඩක් නොමැත. නමුත් අධිරාජ්‍යවාදීන්ගෙන් ඊනියා නිදහස ලැබූ දා පටන් තම තමන් ගේ රජවීමේ සිහිනය රට කෑලිවලට කඩා හෝ සැබෑ කරගැනීම දඟලන නරුමයින් සමග අත්වැල් බැඳගත් බලලෝභී පාවදෙන්නන් දැන් මේ ඔවුන් නිර්මාණය කර වැඩිදියුණු කරමින් පවත්වාගෙන යන ඊනියා ජාතික ගැටලුව ගලඋඩ සටනක් බවට පත්කර තිබේ. Virus-free. www.avast.com
 

More News..