brand logo

ලංකාවේ මුල්ම කොරෝනා රෝගියා දැන් කියන කතාව

10 October 2020

මත්තේගොඩ ජයන්ත රණසිංහ යැයි කීවාට ඔහුගේ වගතුග හෝ රූපකාය ගැන රටුන්ට දැන් මතකයක් නැති බව සහතිකය. එහෙත් මීට මාස කිහිපයකට පෙර මුළු රටම වැඩිපුර කතා කළේ ඔහු ගැනය. අපේ රටෙන් වාර්තා වූ මුල් ම කොරෝනා රෝගියා ජයන්ත රණසිංහය. සංචාරක මගපෙන්වන්නෙකු වූ ඔහුට මේ රෝගය වැලඳී තිබුණේ, ඉතාලි ජාතිකයන් පිරිසකගෙනි. රෝගය පිළිබඳව රෝග ලක්‍ෂණ පහළ වූ මුල් අවස්ථාවේදීම නිවැරිදි ප්‍රතිකාරවලට යොමු වීම නිසා තම ජීවිතය පමණක් නොව සමස්ත සමාජයම බේරා ගන්නට ඔහුට හැකියාව ලැබිණි. කාලය ගතවෙද්දී කොරෝනාව මෙන් ම ජයන්තව ද අපේ මතකයෙන් ගිලිහී ගියේය. ඔහු ගැන අපේ යළි මතකය අවදි වූයේ රට තුළ ඇති වූ කොරෝනා රැල්ලත් සමගින් මේ රටේ මිනිසුන්ගේ හැසිරීම ගැන දුටුවිටය. “අපේ මිනිස්සුන්ට හුඟක් දේවල් මතක බොහොම පොඩි කාලයයි. කොරෝනාවත් අපේ බොහෝ දෙනා පසුගිය කාලයේ අමතක කළා. ඒකයි මේ තරම් දරුණුවට දෙවෙනි රැල්ලක් මතුවුණේ.” ජයන්ත පවසන්නේ කනස්සල්නෙනි. ඒ කතාව සැබෑය. කොවිඩ්-19 රෝගීන් සමාජයෙන් මතු වීම පාලනය වී, රටේ කටයුතු සාමාන්‍ය අතට පත්වීමෙන් ටික දිනක් ගතවෙද්දී, බොහෝ දෙනා රෝගයේ බිහිසුණු බව ටිකෙන් ටික අමතක කරන්නට පටන් ගෙන තිබිණි. ටික දිනක් ගත වෙද්දී, ඇතැමුන්ගේ මාස්ක් එක තිබුණේ කරමාලයක් ලෙසින්ය. ඇතැමුන්ට මාස්ක් එකක් තිබුණේ ම නැත. මුල් කාලයේ අත් සෝදන ස්ථාන සකසා තිබූ බොහෝ වෙ​ෙළඳසල් ආදිය පසුගිය කාලය වන විට ඒවා එම ස්ථානවලින් ඉවත් කර තිබිණි. “ඒ වගේ ම අත සෝදන්න තිබුණු තැන්වල පවා සමහර පුද්ගලයන් අත් සෝදන්න උනන්දුවක් දැක්වූවේ නැහැ. හරිනම් අපි යම් ස්ථානයකට ඇතුළු වෙද්දි විතරක් නෙමෙයි එතනින් එළියට ඇවිල්ලත් අපේ අත් සෝදගන්න ඕන. මම තවමත් යම් තැනක ඇතුළට යද්දි වගේ ම එළියට එද්දිත් මගේ අත් සෝදගන්නවා.” ඔහු පවසන්නේ ය. “මාස්ක් එකක් දාගෙන එළියට බහින එක, නිතරම අත් සෝදන එක, මීටරයක් දුරින් ඉන්න එක, අයි.සී.යූ. එකේ ඇඳක් උඩ හුස්ම අල්ලන් ඉන්න තරම් අමාරු නෑ. පරිස්සමෙන් ඉමු.” මෙය මුහුණු පොතේ මේ දිනවල ඡායාරූපයක් ලෙසින් පළවෙන, එක්තරා ස්ථානයක ප්‍රදර්ශනය කර තිබෙන පෝස්ටරයකි. මේ ආකාරයේ උපදෙස් මාලාවන් මෙන් ම විවිධ දැනුවත් කිරීම්, මුහුණු පොත පුරාත්, වෙනත් විවිධ තැන්වලත් යළි සැරිසරන්නේ, දෙවෙනි රැල්ලක් ලෙසින් කොරෝනාව යළි වේගයෙන් අපව ආක්‍රමණය කරන්නට පටන් ගැනීමත් සමගිනි. වෛද්‍ය අංශ දිගින් දිගටම අනතුරු අඟවන්නේ, කොරෝනාවේ දෙවෙනි රැල්ල පළමු අවස්ථාවට වඩා දරුණු ආකාරයට සමාජය ගොදුරු කරගනිමින් සිටින බවටය. එහෙත් එහි බිහිසුණු බව තවමත් ඇතැමුන් නිසි ලෙස වටහා ගත් බවක් පෙනෙන්නට නැත. ජයන්ත පෙන්වා දෙන්නේ, රෝගය වැලඳුණ අය පවා රෝගය සුව වීමෙන් අනතුරුවත් අඛණ්ඩවම වෛද්‍ය උපදෙස් ඒ ආකාරයෙන් ම පිළිපැදිය යුතු බවයි.“ රෝගය සුව වුණාට පසු, යළි මගේ කටයුතු ඉතා හොඳින් කරගන්න පුළුවන් වෙන ආකාරයේ සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්න මට පුළුවන් වෙලා තියෙන්නෙ ඒ නිසයි. ඒත් අපේ සමහර මිනිස්සු මේ රෝගය මාරාන්තික රෝගයක් වෙලත් ඒ ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා සිටීම ඇත්තටම කනගාටුවට කරුණක්.” අනෙක් අතට මේ ගැන අවධානය යොමු නොකරන්නේ, තවමත් රෝගය නොවැලඳුණ අය පමණක් නොවේ. වයිරසය ආසාදනය වූ ඇතැම්හු පවා ප්‍රතිකාරවලට යොමු නොවී කට්ටි පනිමින් සිටිති. එහෙත් ජයන්ත රණසිංහ පෙන්වා දෙන්නේ, එලෙස වයිරසය ශරීරගත වූ ඇතැමෙක් ප්‍රතිකාරවලට යොමු නොවී සිටින්නේ නම් ඔහු නිසැකවම තෝරා ගන්නේ මරණය බවයි. “මං මරණය ඉදිරිපිටටම ගිහින් ආපහු හැරුණ කෙනෙක්. වෛද්‍යවරු පවා මුලදී කිව්වෙ අපි උත්සාහ කරල බලමු කියල විතරයි. මට හුස්ම ගැනීමේ අපහසුව එද්දිත් මං රෝහලක නොසිටියා නම්, වෛද්‍යවරුන්ටත් මං වෙනුවෙන් යමක් කරන්න කාලයක් නැතිව යනවා. අනිත් එක ඒ වෙද්දි මගෙන් තවත් අයට රෝගය පැතිරිලා තියෙන්නත් පුළුවන්. මං ඉක්මනට රෝහල්ගත වුණු නිසා මගෙන් කාටවත් බෝ වුණේ නෑ. ඒ නිසා වයිරසය තමන්ට ආසාදනය වී ඇති බවට සැකයක් හෝ පවතිනවා නම්, කළ යුත්තේ හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමයි. නැත්නම් අපි මැරෙන්නෙ තවත් දහස් ගණනකට මේ රෝගය ව්‍යාප්ත කරලයි.” ඔහු පවසන්නේ ය. කොරෝනා වයිරසයෙන් මිලියනයකට වැඩි පිරිසක් දැනටමත් මිය ගොස් අවසන්ය. එහෙත් රෝග ව්‍යාප්තියේ පුංචිම හෝ අඩුවක්වත් තවමත් පෙනෙන මානයක නැත. අඩුම තරමේ වසංගතයෙන් මිදෙන්නට මගක් හෝ තවම නැත. අප තවමත් හිඳින්නේ, රෝගය පාලනය කරන එන්නතක් ගැන බලාපොරොත්තුවක් පමණක් ඇති වටපිටාවකය. නොසිතූ විරූ බිහිසුණු අයුරකින් කොරෝනා දෙවෙනි රැල්ලක් අපේ රට වෙළා ගත්තේ එවැනි තත්ත්වයක් යටතේදී ය. “අපි මේ වතාවෙ ගොඩක් ප්‍රවේශම් සහගත විය යුත්තේ ඒ නිසයි. පහුගිය වතාවෙ රජය මිනිස්සුන්ව බලා ගත්තා. ඒත් මේ වතාවෙදි නම් එහෙම කරන්න පුළුවන් වෙයි කියල මං හිතන්නෙ නෑ. සංචාරක කර්මාන්තය එහෙම පිටින් ම බිඳ වැටිලා. මට ලැබුණු වන්දි මුදල්වලිනුයි, බැංකු ණය සහනයි නිසා පහුගිය කාලෙ කොහොම හරි ගෙවා ගන්න පුළුවන් වුණා. ඒත් තවදුරටත් අපේ රට වහන්න වුණොත් අපි හැමෝටම බොහොම අමාරු තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා. අපි ඒ ගැනත් කල්පනා කළ යුතුමයි. ආණ්ඩුවට වුණත් හැමදාම සහන දෙන්න බැරිව යයි.” “ඒ නිසා මං හැමෝටම කියන්නෙ අපි හැමෝ ම පරිස්සම් වෙමු. ගිනිපෙනෙල්ලෙන් බැට කෑව මිනිහා කණාමැදිරි එළියටත් බයයි වගේ, මං අදටත් ජීවත් වෙන්නෙ මගෙ වටපිටාවෙ කොහේ හරි තැනක කොරෝනා වයිරසය ඇති කියල හිතලයි. හැමෝ ම එහෙම හිතුවොත් මේ තත්ත්වය පාලනය කරගන්න අපිට පුළුවන් වෙයි. එහෙම නැතිවුණොත් අපේ රට ඇමරිකාව, ඉතාලිය, ඉන්දියාව වගේ ඇතැම් විටක ඊටත් වඩා විනාශකාරී තත්ත්වයකට පත්වීම වළක්වා ගන්න අපිට බැරිවෙයි. ඒ ගැන කල්පනා කරල අපි හැමෝම අපේ වගකීම ඉටු කරමු.” ඔහු අවධාරණය කරන්නේය. ගයාත්‍රි ගීගනආරච්චි
 

More News..