brand logo

ලංකාවේ පළමු විවාහ-උප්පැන්න-මරණ රෙජිස්ට්‍රාර්වරිය

07 January 2019

‘‘ඇය ඒ.ටී.එල්.ඒ. සුමිත්‍රාය. අනූහත් වන වියේ පසුවන ඇය අට දරු මවකි. තවමත් හොඳින් ස්මරණ ශක්තිය ඇත පළමු උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර්වරිය ලෙස ඇය ඇගේ ජීවිතය ගැන කියන කතාව මෙරට එක් යුගයක් ගැන කෙරෙන සජීවී විග්‍රහයක් වැනිය.’’ අපි මුලින්ම අම්මගෙ උපන්දිනෙන්ම කතාව පටන් ගමුද? මම උපන්නේ 1921 අප්‍රේල් 10 වැනිදා. උණවටුනේ පීල්ලේගොඩ දියනැලියගහවත්තේ. ඒ කියන්නේ දැන් වයස 97ක්. එතකොට පවුලේ අනිත් සාමාජිකයෝ කවුද? මම වැඩිමලා. මට බාල ලලිතා, ආරියරත්න, මධුරා, දඹරා, වීරමන්, කියලා නංගිලා තුන් දෙනෙකුත් මල්ලිලා දෙන්නකුත් ඉන්නවා. ඔය ‘ආරියරත්න’ කියන මල්ලි කවුද? නොදන්නවා වගේ අහනවා. සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න මගේ මල්ලි. මුලින්ම පාසල් ගියේ කොහේද? උණවටුන ද්විභාෂා මිශ්‍ර පාසලට තමයි මුලින්ම ගියේ. අන්තිමට ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වුණා. 1943 දෙවැනි ලෝක යුද්ධ කාලේ තාත්තා අපිව බලංගොඩ මැද්දකන්ද පදිංචියට ගියා. තාත්තාට බේකරියක් එක්ක සිල්ලර බිස්නස් එකක් තිබුණා. මං ඒ කාලේ මැද්දකන්ද සිංහල පාඨශාලාවේ සිංහල ඉගැන්නුවා. විවාහ වුණේ කොයි කාලෙද? මම බැන්දේ 1944 අගෝස්තු 31 වැනිදා. මහත්තයාගේ නම ගුණදාස වේරදුව. වෙඩින් ෆොටෝ එක ගත්තෙ ගාල්ලෙ ලයන් ෆොටෝ එකේ. ඒක රු. 20ක් වුණා. ඔය කියන වකවානුවේ රත්නපුර දිසාපති වුණේ කවුද? එන්.කිව්. ඩයස් මහත්තයා. 1953 මාර්තු 4 වැනිදා මට රත්නපුර මැදපත්තුව උප්පැන්න මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරිය විදිහට පත්වීමක් ලැබුණා. ඊට කලින් ඒ තනතුරට කාන්තාවන් පත්කරල තිබුණද? මම තමයි මුල්ම කාන්තාව. ඒ ගැන පත්තරවලත් ගිහින් තිබුණා මුලින්ම රෙජිස්ට්‍රාර් කළේ ඇමැති ඊරියගොල්ලගේ ඩ්‍රැයිවර්ගේ මංගල්ලේ. මට ඇන්ලොප් එකක දාලා රු. 20ක් දුන්නා. ඒ කාලේ ඒක ලොකු ගාණක්. මම ඇන්විලොප් එක මනමාලිට දුන්නා. දරුවෝ කීදෙනෙක් ඉන්නවද? මට දරුවෝ අට දෙනෙක් හිටියා. රවින්ද්‍ර කුමාරදේව කියන පුතා මැරුණා. මගේ ළමයි තමයි නිල්මිණි සෝමලතා, මංගලා කුසුමලතා, වජිරා චුලංගනී, හර්ෂ කුමාර නවරත්න, සිරිමෙවන් වේරදුව, අනුරුද්ධ වේරදුව, ශ්‍රිනි සේනානි දීප්තිමතී. මගේ මහත්තයා රත්නපුර කලවාන ප්‍රදේශයේ හාල් බෙදීමේ ව්‍යාපාරයේ ප්‍රධානියා. හත්වැනි දරුවා ලැබුණ. අපි නැවත උණවටුන පදිංචියට ආවා. ඔබේ පුතෙක් වන හර්ෂ කුමාර නවරත්න සිනමාව දෙසට නැඹුරු වුණේ කොහොමද? එයාට ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම බයිස්කෝප් පිස්සුව තිබුණා. ආයෙත් ගමට ආවට පස්සේ ඉස්කෝලෙ උගන්වන්න ගියාද? මම උණවටුන පීල්ලේගොඩ ඉඩමක තාවකාලික ගොඩනැගිල්ලක් හැදුව ගමේ කට්ටියක් එක්ක. එතකොට අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක. දහනායක මහත්තයා යෝජිත පාසලක් ලෙස ඒක ලියාපදිංචි කළා. මේ ඉස්කෝලේ මං ආරම්භ කළේ ළමයි 53කගෙන්. ලියාපදිංචි කරනකොට ළමයි 305ක් හිටියා. අලුත් ඉස්කෝලේ ලියාපදිංචි කරන කොට තිබුණු නම මොකක්ද? ඉස්කෝලෙට නම තිබ්බෙ පීල්ලේගොඩ ශ්‍රී සුමනජෝති විද්‍යාලය කියලා. ඉස්කෝලෙ විවෘත කළේ 1952 අප්‍රේල් 2 වැනිදා. මේක මිශ්‍ර රජයේ පාසලක් විදිහට විජයානන්ද දහනායක මහත්තයා ලියාපදිංචි කළා. ටික කලක් යනකොට දහස් ගණනක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ පාසලේ ඉගෙන ගත්තා. ස්ථිර ගොඩනැගිලි 3ක් අලුතින් ඉදිවුණා. දැන් මේ සුමනජෝති විද්‍යාලයේ තත්ත්වය මොකක්ද? සුනාමියට ඉස්කෝලේ අහුවුණා. ඊට පස්සේ වෙනතැනකට ගෙනිච්චා. ඒ.ටී. ආරියරත්න මල්ලි ඉගෙන ගත්තේ මොන පාසලේද? එයා අන්තිමට ගියේ ගාල්ලේ මහින්ද විද්‍යාලයට. එයා ද්වි භාෂා අධ්‍යාපනයක් ලැබුවා. මල්ලි ගුරුවරයෙක් වශයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේ උගන්වන කාලේ තමයි ‘සර්වෝදය’ ව්‍යාපාරය පටන් ගත්තේ. ආරියරත්න මහත්තයා නාලන්දා ඉස්කෝලේ ගුරුවරයකු ලෙස සේවය කරන්න වැඩට ගියේ මහගෙදර ඉඳන්ද? එතකොට එයා කොළඹ නැවතිලා හිටියේ. ඒ ගෙට කිව්වේ දෙල්ගහයට ගෙදර කියලා. අම්මා, තාත්තාත් මහත්තයත් ගැන දැන් මතක් වෙනවද? තාත්තා හෙන්ද්‍රික් ජිනදාස 1970දී මියගියා. අම්මා රොසලිනාහාමි ගජධීර 1991දී අන්ත්‍රා වුණා.මගේ මහත්තයා මැරුණෙ 1993 අගෝස්තු 17 වැනිදා. 71 ජවිපෙ කැරැල්ලේදි දුෂ්කර කාලයක් වුණාද? මම විජේවීරගේ කතාවට වශී වෙලා හිටියේ. කැරැල්ලට පෙර කාලයක විජේවීර ආවා ගාල්ලේ ටවුන් හෝල් එකට දේශනයක් තියන්න. මහත්තය මට අවසර දුන්නා ඒක බලන්න යන්න. මම පොඩි පුතා සිරිමෙවන්වත් අරන් ගිහින් දේශනය ඇහුවා. ඒ කතාවෙන් නම් මට තේරුම් ගියා මේ ගොල්ලෝ මේ ගල්කටස් තුවක්කු එකතු කරගෙන ආණ්ඩුව පෙරලන්න තමයි සූදානම් වෙන්නේ කියලා. 71 කැරැල්ලට පුත්තු සම්බන්ධ වුණේ නැද්ද? හර්ෂ කුමාරව, සිරිමෙවන්ව, ගෙදර ඇවිල්ල පොලිසියෙන් හොයල තිබ්බා. ඒත් ගෙදර බල්ල විතරයි හිටියේ. අපි ඔය තත්ත්වෙ දැනගෙන වෙන තැනක ජීවත්වුණේ. ජේවීපී කියල අල්ලන් ගිය සමහර කොල්ලන්ව මම නිදහස් කර ගත්තා. 71 කැරැල්ලට මුහුණ දීපු බණ්ඩාරනායක මැතිනිය දේශපාලනයට එන්න කලින් සමීපව ආශ්‍රය කරන්න ලැබුණද? මැතිනි මහිලා සමිති ව්‍යාපාරයේ හිටියා. රත්නපුරේ එහෙම ආවම අපි කවුරුත් උදව් කළා. බණ්ඩාරනායක මහත්තයා මැරෙණකම් මැතිනි කිසිම දේශපාලනයක් කළේ නැහැ. අපි නම් හිතුවේ නෑ මැතිනි කවදහරි ලෝකයේ පළවැනි අගමැතිනිය වෙයි කියලා. ඒත් අපේ මහත්තයා නම් යූඇන්පී කණුවක්. මහත්තයාගේ පැත්තේ අය මුලින් කිව්ගුවෙ රුවරු කියන්නේ හිඟන්නෝ කියල. මට කැමැති වුණෙත් නැහැ. ඒත් පස්සේ ඔක්කමලා මගේ යාළුවෝ වුණා. මහත්තයා දරුවන්ට පුදුම ආදරයක් තිබුණේ. දරුවෝ අතර අදත් සහෝදර බැඳීමක් තියෙනවා. කේන්දර එහෙම විශ්වාස කරනවද? ඔව්. ඔව්. මම වෘෂභ ලග්නයේ. අපේ ඔක්කෝගේම කේන්දර බැලුවේ හීනටිගල නව නාථ ගුරුන්නාන්සේ. ආරියරත්න මල්ලි උපන් වෙලාවේ ගුරුන්නාන්සේ කිව්වා මල්ලි රටේම උසස් තැනකට එනවා. එයා ලෝක ප්‍රසිද්ධ වෙනවා කියලා. ආරියරත්න මල්ලිට පළවැනියට පිටරටකින් සම්මාන දෙනකොට ගුරුන්නාන්සේ කිව්වා මං කියපු දේ ටකේට හරිගියා නේද කියලා. හේන්පිටගෙදර ඥානසිහ හාමුදුරුවෝ ඒ වෙලාවේ ගෙදරටම වැඩලා ආශිර්වාද කළා. මහත්තයා සර් ජෝන් කොතලාවලගේ හිතවතෙක්ද? කලවානේ අපේ පෙට්‍රල් ෂෙඩ් එක විවෘත කරන්න ආවේ සර් ජෝන් කොතලාවල. හර්ෂ කුමාරව වඩාගෙන තමයි කොතලාවල මහත්තයා පෙට්‍රල් ෂෙඩ් එක පුරා ඇවිදල බැලුවේ. සර් ජෝන් කොතලාවල එදා හර්ෂ කුමාරට ඉඳුල් කට ගෑවේ නැකතට. දැන් එකට ඉස්කෝලෙ ගිය අයගෙන් ඉන්න අය කවුද? ඔය එඩ්වින් ආරියදාසයි මමයි හිටියේ එක පන්තියේ. එයා බැන්දේ නෑනේ. ටීවී එකේ මම දකිනවා එයා පඩිපෙළවල් එහෙමත් හොඳට නැගලා යනවා. ජීවිතේ ගුරුවරියක ලෙස ලබපු මුල්ම පඩිය කීයද? මගේ මුල්ම පඩිය රු. 110යි. මට කියන්න බැරි වුණා එඩ්වින්ට අපේ ඉස්කෝලේ කෙල්ලෝ කිව්වේ ‘කුමාරයා’ කියලා. එයාට අක්කල දෙන්නයි අයියල දෙන්නයි හිටියේ. එයා බාලයා. ඔය කියන විදියට මහත්තයා යූ.ඇන්.පී.- නෝනා ශ්‍රී ලංකාද? ඔව් අපි දෙන්නා දෙපැත්තට වැඩ කළේ. 1977 මැතිවරණයේදී මම ප්‍රින්ස් ගුණසේකරට වැඩ කළා. එයා ගිය සෙනසුරාදා මැරුණා. එයා අපේ වයසේ. ඩී.ඇස්.- ඩඩ්ලිව එහෙම ආශ්‍රය කරල තියෙනවද? ඩී.ඇස්. අගමැති කාලේ කලවානේ කුඹුරක් අස්වද්දන්න කියලා ගමේ කට්ටිය ආරාධනා කරල කිව්වා. ඩී.ඇස්. තනියෙන් කාර් එක එලවගෙන අපේ ගෙදරින් වාහනය දාල සෙරෙප්පුවක්වත් නැතුව කුඹුරට පයින් ඇවිදන් ගියා. බයිස්කෝප් එහෙම බලනවද? කඩවුණ පොරොන්දුව ගාල්ලට ආවා මතකයි. ඒ කාලේ ටිකට් එක සත පහයි. ගෑනු ළමයි බයිස්කෝප් බලන පුරුද්දක් ඒ කාලේ තිබුණේ නැහැ. හර්ෂ කුමාර පුතාගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා කියන චිත්‍රපටය නම් බැලුවා. දැන් මං ටීවි එකේ ‘සිඳු’ බලනවා. විවාහ රෙජිස්ට්‍රාර් විදියට පවුලම එක්ක ඉන්න පින්තූරය ගත්තේ කවුද? ඒක කලවානේ තියෙන රත්න ඡායාරූප ශිල්පියෝ තමයි ගත්තේ. අවුරුදු 97ක් කියන්නේ විශාල කාල පරාසයක්. පවුලේ අනික් අයත් මේ වගේ දීර්ඝායුෂ ලබන්න පින් කරල තිබුණද? අපේ තාත්තා අවුරුදු 86ක් ජීවත් වුණා. අම්මා අවුරුදු 91ක් ජීවත් වුණා. මගේ මහත්තයා අවුරුදු 91ක් ජීවත් වුණා. අපේ සීයා අවුරුදු 80ක් ජීවත් වුණා. පුනරුප්පත්තිය විශ්වාස කරනවද? ඊළඟ ආත්මය ගැන හිතනවා නම් මනුස්ස ලෝකේ පින්දහම් කරන අය වැඩිවෙයි. අපේ තාත්තා මැරෙණකොට කිව්වා එයා මේ පවුලෙම යළි උපදින බව. මගේ නංගි දඹරගේ පුතා දිලීප, අපේ තාත්තා විදිහමයි. ඇරපු අතක් නැහැ. දැන් ජීවිතය ගැන තෘප්තිමත්ද? මට ළමයි හොඳට සලකනවා. මගේ කාමරේ බලන්නකො. මම හොඳටම සුරසැප විඳිනවා. මගේ ළමයි නිසා. ජීවිතේ අන්තිමට තියෙන බලාපොරොත්තුව මොකක්ද? මම ඇස්දෙක පියාගත්තම දාන්න ඕන ලුණුමිදෙල්ල පෙට්ටියක. අර සරනේරු දාල දෙපැත්තට ඇරෙන මිනීපෙට්ටිවල නම් මාව දාන්න එපා. මගේ අන්තිම ඉල්ලීම දරසෑයකට දාන්න කියන එකයි. වජිර ලියනගේ
 

More News..