brand logo

ලංකාවේ පළමු පොලිස් ස්ථානයත් පොලිසියට අයිති නෑ

03 April 2021

විශ්‍රාම ගිය උසස් පොලිස් නිලධාරීන්ට අයත් බොහොමයක් ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව කුලියට ලබාගෙන ඇති අතර, ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 576ක් ගෙවන බව වාර්තා වේ. පොලිස් ස්ථාන 67ක්, කාර්යාල 84ක්, පොලිස් මුරපොළ 19ක් හා විවිධ ඒකක පවත්වාගෙන යාමට මේම ගොඩනැගිලි කුලියට ලබාගෙන ඇත. බොහෝ පොලිස් ස්ථානවල අයිතිය ශ්‍රී ලංකා පොලිසිය සතුව නැති අතර, ඇත්තේ භුක්තිය පමණි. ලංකාවේ පළමු පොලිස් ස්ථානය වන මරදාන පොලිසියද ශ්‍රී ලංකා පොලිසියට අයත් නොවන අතර එහි ඇත්තේ භුක්තිය පමණි. මරදාන, දෙමටගොඩ, නිකවැරටිය වැනි පොලිස් ස්ථානද එලෙස භුක්තියට පමණක් යටත්ය. ඒ නිසා ඒවායේ කිසිදු අලුත් ඉදිකිරීමක් සිදු කිරීමටද නොහැකිය. පැවති රජයන් විසින් ඒවා පවරා ගැනීමට කටයුතු කළද ඒවා අතරමග ඇනහිට තිබේ. පොලිස් ස්ථාන හා කාර්යාල පවත්වාගෙන යනු ලබන ස්ථාන 406ක පවරා ගැනීම් කටයුතු පසුගිය වසරේ අගභාගය වනවිටද සිදුවී නැත. යාපනය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් කාර්යාල, පරිපාලන ගොඩනැගිලි, පොලිස් ස්ථාන, පොලිස් මුරපොළ හා භට නිවාස පවත්වාගෙන යනු ලබන ඉඩම්වල එකතුව අක්කර 28ක් පමණ වන ඉඩම් කැබලි 67 අතරින් පොලිස් දෙපාර්තමේන්තුවේ හිමිකාරීත්වය ඇත්තේ ඉඩම් කැබලි තුනකට පමණි. එහි ප්‍රමාණය අක්කර 7 පර්චස් 146කි. යුද්ධය අවසන් වුවද යාපනය ප්‍රදේශයේ සෙසු රාජ්‍ය ආයතන සතුව තිබෙන අක්කර අටක් පමණ වූ ඉඩම් කැබලි නවයක්ද, පෞද්ගලික පාර්ශ්වයන් සතුව තිබූ අක්කර දහතුනක් ඉක්මවූ ඉඩම් කැබලි පනස් පහක්ද පසුගිය වසර තෙක් පවරා ගැනීමට කටයුතු කර නැති බවද සඳහන් වේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් විමසූ අවස්ථාවේ ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) අධීක්ෂණය යටතේ දේපොළ කළමනාකරණ කොට්ඨාසය විසින් පවරා ගැනීම් කටයුතු සිදු කරමින් පවතින බවයි. නව ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව ඇති ගැටලුද මේ වනවිට නිරාකරණය කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. හේමන්ත ලියනපතිරණ
 

More News..