brand logo

ලංකාවේ ගොඩක් නළුවෝ ඇඳගෙන ඉන්නේ

21 March 2021

මේ දවස්වල බොහෝ දෙනකුගේ හදවත් තුළ නාඩගම් නටන කොලු කාණ්ඩයක් ඉන්නවා. රූප පෙට්ටිය පමණක් නෙවේ අති විශාල ප්‍රේක්ෂක පිරිසකගේ හදවත් නාඩගම් මඩුවක් කරගෙන නාඩගම් නටන කොලු නඩයේ ඉන්නවා කොල්ලො හතරදෙනෙක්. සරා.. කවඩියා... කිරි පුතා.. සහ අනිත් කෙනා සුද්දා. මේ වදකාර කොලු කාණ්ඩෙ ගැන කතා කරනකොට සුද්දා කියන්නේ අමතක කරන්නම බැරි නාඩගම්කාරයෙක්. මේ විරාජ් දනූෂ සුද්දා වුණ හැටි. මුලින්ම අහන්න හිතුණා විරාජ් කොහොමද සුද්දා වුණේ කියලා..? මට මේ චරිතෙට සම්බන්ධ වෙන්න පළවෙනි දුරකථන ඇමතුම ලැබෙන්නේ නාඩගම්කාරයෝහි නිෂ්පාදකවරයා වන චාමර සමරවික්‍රම අයියගෙන්. පස්සේ සද්ධාමංගල මහත්මයා සහ ශිවා මහත්මයා මට මේ කතාවේ සුද්දගේ චරිතෙ ගැන අවබෝධ කරලා දුන්නා. මේ තුන්දෙනා තමයි ඉතින් මගේ ලොකුම හයිය වුණේ. නාඩගම්කාරයෝ විරාජ්ගේ ජීවිතේට සමීප වෙන්නේ කොහොමද..? මගේ ජීවිතේ මිනිස්සු අතරට යන්න පුළුවන් වුණ එක් වැදගත්ම සන්ධිස්ථානයක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. නාට්‍යය පැත්තෙන් කතා කළොත් මෙහි තිබෙන වැදගත්කම තමයි සමාජයට පණිවිඩයක් දෙන ගමන් සමාජයේ ජීවත් වන්නන්ගේ හිත් තුළට අපිට යන්න පුළුවන් වුණා. නළුවෙක්ට ප්‍රේක්ෂකයන් අතරේ ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙන්නනේ හරි අමාරු. මට පුළුවන් වුණා නාඩගම්කාරයෝ හරහා මිනිස්සු අතරේ ජනප්‍රිය වෙන්න. මම මීට කලින් කළ චරිත ඉතා කෙටි පරාසයකයි තිබුණේ. නමුත් සුද්දා හරහා මට ප්‍රේක්ෂකයන්ට දනවන්න හැකියාව ලැබුණා මට මේ වගේ චරිතත් රඟපාන්න පුළුවන් කියලා. මේ විරාජ් සම්බන්ධ වුණු දැවැන්ත චරිතයක් වුණත් පළමු නිර්මාණය නොවේ...? මගේ පළමු නිර්මාණය A/L චිත්‍රපටය. එතනින් පස්සේ අමුතු රසිකයා, ත්‍රෛලෝක, අහස් මාලිගා, හිරු ඇවිදින්, තාදී වගේ ටෙලිනාට්‍ය බොහෝමයක රංගනයෙන් දායක වෙලා තියෙනවා. සුද්දාගේ චරිතෙට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති මේ වෙනකොට? ඇත්තටම සුද්දාට ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි සහ ඒ ප්‍රතිචාර ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබෙන ප්‍රතිචාර, අදහස් සියල්ල මට වටින තෑග්ගක්. සෙට් එකෙන් මේ චරිතෙට ලැබෙන සහයෝගය ගැන කිව්වොත්..? නාඩගම්කාරයෝ එක්ක එකතු වෙලා ඉන්න කලාකරුවන් සියලුම දෙනා මනුෂ්‍යත්වය අතින් ඉතාම පිරිපුන් නිහතමානී පිරිසක්. අපිට දෙයක් ඉගෙනගන්න පුළුවන් කලාකරුවන්. අද ලංකාවේ ගොඩක් නළුවො ඇඳගෙන ඉන්නවා ඇඳුමක් ‘මම නළුවා’ කියලා. එහෙම ඇඳුමක් ඇඳලා නැති කිසි ලොකුකමක් නැති සරල නළුවො ටිකක් තමයි නාඩගම්කාරයෝ එක්ක ඉන්නේ. රහල් බුලත්සිංහල, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රසන්නජිත් අබේසූරිය වැනි දැවැන්තයෝ එක්ක ඉන්න සජිත, සංගීත්, කෝකිල අයියලාගෙන් මට ලැබෙන්නේ මිල කළ නොහැකි සහයෝගයක්. එයාලගෙන් ඉගෙනගන්න දේවල්නම් බොහෝමයි. සජිත අයියා ඔතන අමුතුම චරිතයක්. ඔහු සුපිරිම කලාකරුවෙක් කිව්වොත් මම නිවැරදියි. ඔහු කවදාවත් තාත්තාගේ නම විකුණන් කන ජාතියේ කලාකරුවෙක් නෙවෙයි. ඔහුගෙන් අපට ලැබෙන්නේ ජැක්සන් මහත්මයාගෙන් ලැබෙනවා වගේම හොඳ ගුරුහරුකම් සහ ඔහුගේ රංගනය රූගත කරන මොහොතේත් අපිට දැනෙනවා. විරාජ් අනුරාධපුරේ ඉඳන් කොළඹ එන්නේ නළුවෙක් වීමේ සිහිනයත් එක්ක? ඔව්. මගේ ගම අනුරාධපුර විලච්චිය. අනුරාධපුරේ ඉඳන් කොළඹ එන ගමනේ නළුවෙකු වීමේ සිහිනයත් තිබුණා. නමුත් ඒ අතරේ මගේ ඉගෙනීමේ වැඩකටයුතුත් ලොකුවටම තිබුණා. මොකද කොච්චර හොඳ නළුවෙක් වුණත් වැඩක් නෑ කලාව තුළ කොච්චර දුරක් ගියත් වැඩක් නෑ ඔහු හෝ ඇය තුළ නිවැරදි අධ්‍යාපනයක් නැත්නම්. ඒ නිසා මම කොළඹ ආවේ අධ්‍යාපන කටයුතුත් එක්ක රංගනය ගැන ඉගෙනගන්න. සියලුම දේ සම්පූර්ණ වෙන්න අධ්‍යාපනය තිබිය යුතුයි. කලාව තුළ ඉදිරි අරමුණු එහෙමත් ඇති? මට කිසිම උවමනාවක් නෑ ප්‍රසිද්ධ කලාකරුවෙක් වෙන්න. මට ඕන කවදහරි ජනප්‍රිය කලාකරුවෙක් වෙන්න. ප්‍රසිද්ධ වෙන්න ඕනම කෙනෙක්ට පොඩි දේකින් හරි පුළුවන්. නමුත් ප්‍රේක්ෂකයා තුළ ජනප්‍රියත්වයක් ඇති කරගන්නයි අමාරු. මට ඕන කොහොමහරි අන්න ඒ අමාරු දේ ළඟා කරගන්න. ඒක තමයි ලොකුම අරමුණ. එතකොට හිතේ කොනකවත් නැතිද සහෝදර කලාකරුවන් එක්ක කරට කර තරගයක් දීලා ජනප්‍රිය නළුවා හෝ දක්ෂතම නළුවා සම්මානයක් කවදහරිම ගන්නවා කියලා.? මම ඒ දේ කොයි මොහොතකවත් කියන්නේ නෑ. හොඳ නිර්මාණ තුළින් පුළුවන් උපරිමයෙන් සාධාරණයක් කරමින් ප්‍රේක්ෂකයාට දැනෙන්න දෙයක් කරනවා මිස කවදාහරි සම්මානයක් මගේ කරගන්නවා කියන බලාපොරොත්තුවක් මගේ හිතේ නෑ. ඉදිරි වැඩකටයුතු... නාට්‍ය කිහිපයක්ම තියෙනවා විකාශනය වෙන්න. ඊට අමතරව ඉතින් මේ වෙනකොට විකාශනය වන ටෙලිනාට්‍යවල රූගත කිරීම් ඉදිරියේදී තියෙනවා. ඊට අමතරව මුකුත් විශේෂ දෙයක් නෑ. විරාජ් මනමාලියෙක්ව ගෙනල්ලා කියලත් ආරංචියි... අයියෝ පිස්සුද අනේ.. මම වගකීමෙන් කියනවා ඒක ෆොටෝ ෂූට් එකක් පමණයි. ඔය වගේ ෂූට් එකක් කළාම ගොඩක් ගොසිප් හැදෙනවා ඉතින් කසාද බැඳලා කියලා. නමුත් මම තාම විවාහ වෙන්න හිතලවත් නෑ. එරංදි කෞශල්‍යා
 

More News..