brand logo

ලංකාවේ කිකිළියෝ දාන්නේ රත්තරන් බිත්තරද?

04 January 2020

රත්තරන් බිත්තර දමන කිකිළියන් අපට හමුවන්නේ අරාබි නිසොල්ලාසයේ කතාවලය. ඒත් දැන් අපේ කිකිළියන්ගේ බිත්තරවල වටිනාකමත් රත්තරන් බිත්තරවලට වඩා නොදෙවෙනි සේය. බිත්තර එතරම් මිලය. බිත්තර මිල වැඩිවීමත් සමග බිත්තර ආශ්‍රිත නිෂ්පාදිතයන්ගේ මිල ගණන් ද වැඩි වී ඇත්තේය. විශේෂයෙන්ම හෝටල් ආහාර බේකරි නිෂ්පාදන ආදියෙහි මිල ඉහළ ගොස් තිබේ. එහි බර පාරිභෝගිකයාගේ සාක්කුවටය. මිල වැඩි වුවද බිත්තර පරිභෝජනය අත්හළ නොහැකිය. ඒ බිත්තර අත්‍යවශ්‍ය පෝෂ්‍යදායී ආහාරයක් නිසාය. වෛද්‍යවරුන්ගේ මතයට අනුව ලංකාවේ ප්‍රෝටීන ඌනතාව සියයට තිහකට වැඩිය. එම තත්ත්වයෙන් මිදීමට නම් මිල අඩුම ප්‍රෝටීන් අධික ආහාරයක් වූ බිත්තර හෝ මස් පරිභෝජනයට ගත යුතුය. එහෙත් මස් කෑමට වඩා බිත්තර ගන්නේ මිල අඩු නිසාය. එහෙත් මේ දිනවල බිත්තර කන්න තබා හිතන්නවත් බැරිය. මිලාධිකය. ලංකාවේ දෛනික පරිභෝජනයට අවශ්‍ය බිත්තර ගණන ලක්ෂ හැට පහකට අධිකය. සත්ව නිෂ්පාදන හා​ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ 2019 වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මාසික බිත්තර පරිභෝජනය මිලියන 200ක්ය. මෙම අවශ්‍යතා සැපිරීමට සියයට 70 ට වඩා වැඩියෙන් බිත්තර නිෂ්පාදනය කෙරෙන්නේ වයඹ පළාතේය. ඊට අමතරව ලංකාව පුරාම බිත්තර නිෂ්පාදකයෝ විසිර සිටින්නෝය. මේ සියලු බිත්තර නිෂ්පාදන සමාගම් ලාංකේය බිත්තර පරිභෝජන අවශ්‍යතා සපුරනවා සේම බිත්තර අපනයනයටත් දායක වේ. ඔවුහු මාලදිවයිනට පමණක් මාසිකව බිත්තර 46,7000ක් අපනයනය කරන්නෝය. මේ ආකාරයට බිත්තර නිෂ්පාදනය සාර්ථකව කළ ද ඒ සඳහා බිත්තර නිෂ්පාදකයාට විශාල පිරිවැයක් දැරීමට සිදුවන්නේය. ඒ කුකුළු කෑම හා අවශ්‍ය විටමින් මිලදී ගැනීම සඳහාය. දැරිය නොහැකි මිලකට කුකුළු නිෂ්පාදන මිලදීගෙන අඩු මිලකට බිත්තර අලෙවි කළ නොහැකි වීම හේතුවෙන් රුපියල් 17 කට අලෙවි වන බිත්තරයක තොග මිල ලබන සඳුදා සිට රුපියල් 1. 50කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව සුදු බිත්තරයක තොග මිල රුපියල් 18.50වේ. රතු බිත්තරයක තොග මිල රුපියල් 19.50කි. එහෙත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පම්පෝරි ගැහුවේ උත්සව සමයේ බිත්තර මිල ඉහළ දමන්නේ නැත කියාය. එනමුත් දැන් ඔවුන් බිත්තර මිල ඉහළ දමා තිබේ. ඒ පිළිබඳ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකගෙන් විමසු විට ඔහු කියන්නේ කුකුළු ආහාර නිෂ්පාදන සඳහා අධික මිලක් දැරීමට සිදුවන බැවින් මිල ඉහළ දැමූ බවය. මෙසේ නිෂ්පාදන පිරිවැය වැඩිවීමට හේතු කිහිපයක් ඇත්තේය. පසුගිය රජය විසින් කුකුළු ගොවියාට සහන සැලසීම සඳහා ආහාර ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදී. එහි දී කුකුළු ආහාර නිෂ්පාදනයට භාවිතා කරන ඉරිඟු ආනයනය කර කිලෝ එක රුපියල් 59 ගණනේ ගොවියාට දීම රජයේ තීරණය විය. එහෙත් සිදුවූයේ අනෙකකි. රජයෙන් ගොවියාට ලබා දිය යුතු ඉරිඟු එකල සිටි ඇමැතිවරයාගේ අනුග්‍රහයෙන් ලැබුණේ ප්‍රධාන ආයතන තුනකටය. අවසානයේ කුකුළු ගොවියාට සිදු වූයේ ඉරිඟු කිලෝ එක රුපියල් අසූපහ ගණනේ එම සමාගම්වලින් මිලදී ගැනීමටය. ඉන් ලාභ ලැබුවේ එම නිෂ්පාදන ආයතන තුන පමණය. කුකුළු කෑම නිෂ්පාදනයේ දී ඉරිඟු මෙන්ම ඊට එකතු කරන තවත් විටමින් වර්ග තිබෙන්නේය. ඒවා මිලදී ගැනීමට ද අධික පිරිවැයක් දැරීමට කුකුළු ආහාර නිෂ්පාදකයාට සිදුවෙයි. වැඩි මිලට කළු කඩකාරයන්ගෙන් ඉරිඟු මිලදී ගැනීමට සිදු වූ ගොවියා ඉන් තවත් අසරණ වූවේය. බිත්තර නිෂ්පාදකයෝ කියන්නේ මෙවැනි වියදමක් දරා ගෙන තවදුරටත් රුපියල් 17ට බිත්තර විකුණන්න බැරි බවය. අපි බිත්තරයකින් ලාභය තියා ගන්නේ රුපියල් එකයි පනහක් විතරයි. නමුත් රුපියල් 17ට බිත්තර විකුණුවොත් ඒ ලාභය ලැබෙන්නේ නෑ. ඔවුහු පවසති. ‘‘රජයට බිත්තර මිල වැඩියි කියන එක ඇහෙනවා. ඒත් ඒකට හේතු වෙච්ච කාරණා පේන්නේ නෑ. අත යටින් පගාව යද්දි කොහොමද කෘෂිකර්මය දියුණු කරන්නේ. හැමදාම කරන්නේ ගොවියාගේ කොන්ද කඩන එක. ගිය ආණ්ඩුව පගා අරගෙන ගොවියෝ නැත්තටම නැති කළා. අපි බලාපොරොත්තු වුණා මේ ආණ්ඩුවවත් අපිට සාධාරණය කරයි කියලා. ඒත් තවම අපේ ප්‍රශ්නය නම් විසඳුනේ නෑ.’’ එසේ කියන්නේ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකය. කෙසේ නමුදු පසුගිය වසරේ උත්සව සමයේ බිත්තරයක මිල රුපියල් 25 දක්වා වැඩි විය. ඒ පිළිබඳ බිත්තර නිෂ්පාදකයන් කියන්නේ කොළඹ තොග අලෙවිකරුවන් බිත්තර තොග සඟවා බිත්තර හිඟයක් පෙන්වා පසුව වැඩි මිලට බිත්තර අලෙවි කළ බවය. එහෙත් මෙවර කළුකඩකාරයන් ලාභ ලබන බව රජයට පෙන්වා දෙද්දී කිසිදු සහනයක් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයට නොලැබූ නිසා බිත්තර මිල වැඩිකිරීමට ඔවුන් තීරණය කර තිබේ. ඒ මේ ප්‍රශ්නය ගැන අභ්‍යන්තර වෙළෙඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය ඇමති අනුර ප්‍රියදර්ශන යාපා කියන්නේ බිත්තර නිෂ්පාදකයන්ට අසාධාරණයක් සිදුව ඇති බව ඔහුද පිළිගන්නා බවයි. මේ කාරණාව පිළිබඳ දැනුවත් වීමෙන් පසු එම ආයතන තුනට රජය මගින් ඉරිඟු දීම නවතා තිබේ. රජයෙන් සිදුකරන මෙවන් කාර්යන්වලට අතරමැදි ආයතන සම්බන්ධ කර ගැනීම නීති විරෝධී කාර්යක් බව පැවසූ ඇමතිවරයා ඉදිරියේ දී ඒ පිළිබඳවත් සොයා බලා නීතිමය කටයුතු කරන බව පැවසුවේය. එසේම බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඉල්ලා සිටි පරිදි ඉදිරියේ දී සතොස මගින් ඉරිඟු ගෙන්වා කුකුළු ගොවියාට ලබාදීම රජයේ ආපේක්ෂාව බව ද සඳහන් කළේය. බිත්තර මිල වැඩිකිරීම පිළිබඳ ගත් තීරණය ගැන බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සමග සාකච්ඡා කරන බව ද පැවසුවේය. කුමාරි හේරත්
 

More News..