brand logo

ලංකාවේ ක්‍රිකට් ඇනුවේ කව්ද ? ගුරුසිංහ කට අරියි

19 October 2019

ගුරුසිංහ ගියේ ඇයි? අවුරුදු දෙකහමාරක් ලංකාවේ ක්‍රිකට් ආයතනයට සේවය කොට පසුගිය අගෝස්තුවේදී නැවත ඔස්ට්‍රේලියාව බලා ගිය සුපිරි ක්‍රීඩක අසංක ගුරුසිංහම ඉහත ප්‍රශ්නයට පිළිතුරු සපයයි. ඇත්තටම වුණේ මොකක්ද? මේ ශ්‍රී ලංකාවේ මාධ්‍යය විසින් යොමුකළ ඉහත පැනය සඳහා ‘ගුරා’ විසින් පිළිතුරු සපයන මුල්ම අවස්ථාවයි. ‘මට මගේ වැඩේ හරියට කරන්න ලැබුණේ නැහැ. එතැන තිබුණේ බරපතළ දේශපාලන මැදිහත්වීමක්. මේක ඉතාමත් භයානක තත්ත්වයක්. මට ආපසු ඔස්ට්‍රේලියාවට එන්න මුල් වුණේ ඇත්තටම මට මගේ ජොබ් එක හිත හොඳින් කරන්න බැරි වුණ හන්දයි.’ ගුරුසිංහ පසුගියදා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට අප වාර්තාකරු අමතමින් එසේ කීවේය. 2017 වසරේ මාර්තු මාසයේ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ වන්නේ අරවින්ද ද සිල්වා සහ තිලංග සුමතිපාලගේ ඉල්ලීම මතය. ඉන් පසු ඔහු විශාල බලතල රාශියක් සහිත ක්‍රිකට් කලමණාකරන ධුරයකට පත්විය. 2018 වසරේ ජුනි මාසය දක්වාම ඔහු එම ධුරයේ වැඩ කළේය. අපි කවුරුත් දන්නා ආකාරයට එසමය ගතවුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම අර්බුධකාරී යුගයයි. 2018 මැද භාගයේදී සිය කළමණාකාර ධුරයෙන් සමුගෙන කොළඹ පිහිටි ඉහළ තාක්ෂණික දක්ෂතා මධ්‍යස්ථානයේ භාරකාරත්වයට පත්විය. එතැන් සිට ඉතා නිහඬව සිය කාර්ය කරමින් සිටි අසංක පසුගිය අගෝස්තුවේදී පැදුරටත් නොකියා නැවත ඔස්ට්‍රේලියාවට ගිය බව පෙණුනි. මෙකී කාලය තුළ සැබවින්ම සිදු වූයේ කුමක්ද? ‘සුමතිපාල මහතා මගේ කලමණාකාර ධුරයේ කාර්ය භාරය ගැන දළ විස්තරයක් දුන්නා. සංචාරයකදී කණ්ඩායම තේරීම සඳහාත් මට වගකීමක් තිබුණා. මෙහෙම වැඩ කරගෙන යනකොට හිටපු පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සමුගත්තා. බොහෝ දෙනෙක් කිව්වේ එයා මාත් එක්ක ඇති වූ රණ්ඩුවක් නිසා ගියා කියලා. නමුත් ෆෝඩ් හා මා අතර කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එයා යන්න කලින් මාත් එක්ක කතා කළා. එයාට ප්‍රශ්නේ තිබුණේ බෝඩ් එකත් එක්ක. පැහැදිලිවම කියනවානම් බෝඩ් එකෙන් මට දීලා තිබුණු මගේ ජොබ් එකේ වපසරිය ගැන තමයි එයාට ගැටලුව තිබුණේ. කොටින්ම ෆෝඩ් කැමැති වුණේ නැහැ කණ්ඩායමේ ක්‍රීඩා දක්ෂතා විමසලා බලන්න එයාට උඩින් තව කෙනෙක් දානවට. ෆෝඩ් ගියේ ඒ හින්දයි. ඊට පස්සේ නික් පෝතාස් අතුරු කාල සීමාවක් සඳහා වැඩ බැලුවා. ඒ වුණාට එයාට ලැබුණේ ඉතාමත් බරපතළ සංචාර කිහිපයක්. අපිට ඉන්දියාවත් එක්ක ගහන්න අමාරු වුණා. මේ අතර තමයි හතුරුසිංහව ගන්න යෝජනාව ආවේ. ඇත්තටම හතුරුට මුලින්ම කතා කළෙත් මම. එයා මුලින්ම මටත් බැන්නා. කැමති වුණේ නැහැ. පස්සේ වදෙන් පොරෙන් කොන්දේසිත් සමග අන්තිමට හතුරු 2017 අග භාගයේදී ලංකාවට එන්න කැමැති වුණා.’ 2018 වසරේ මුල සිට ‘ගුරු-හතුරු’ සුසංයෝගය මෙරට ක්‍රිකට් ගමන් පෙත තීරණය කිරීමට තරම් ප්‍රභල සාධකයක් විය. නමුත් අවාසනාවකට මෙන් ගහන ගහන මැච් එක පැරදුණි. ජාතික පිල පෙර නොවූ විරූ පසුබෑමකට ලක්වුණි. ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රියා කළේ කාර්යභාර නිලධාරියෙක් යටතේය. ඒ කාලයේ තරග පාවාදීමේ චෝදනා පවා ශ්‍රී ලංකාව දෙසට එල්ල විය. එක පිට එක පරාජයන් අත්විඳිනවිට අන්තගාමී ක්‍රිකට් රසිකයින් අසහනයෙන් පෙලුණි. මේ පසුබිම තුළ ඉහත කී ගුරු - හතුරු සුසංයෝගය දෙදරීමට ලක් වුණිද? ගුරුසිංහ පසුබෑමට එය හේතුවක් වුණාද? ‘ඇත්තටම අපි දෙන්නා එකතුවෙලා ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන හොඳ සැලැස්මක් හැදුවා. මම ලංකාවට ආවේ මොකක් හරි කරන්න. මොකද මම අද මෙතැන ඉන්නේ ලංකාවේ ක්‍රිකට් හින්දා. හැබැයි පස්සේ මට තේරුණා මගෙන් ලොකු ප්‍රයෝජනයක් අපේ ක්‍රිකට් වලට ලැබෙන්නෙ නැහැ කියලා. මම මගේ කාලේ නාස්ති කරනවාද කියලා මගෙන්ම අහන්න පටන් ගත්තා. හතුරු කියන්නේ ඉතා දක්ෂ, උපක්‍රමික පුහුණුකරුවෙක් වගේම කළමණාකරුවෙක්. මගේ කාර්යභාරය තවදුරටත් ලංකාවට අවශ්‍යද කියලා මම කල්පනා කරා. ගිය අවුරුද්දෙ මුල මම තීරණය කළා මේ වැඩේ කිසි රසයක් නැත්නම් මේකෙන් යන්න ඕනේ කියලා. එහෙම ඉන්නකොට තමයි. ඉහළ තාක්ෂණික දක්ෂතා මධ්‍යස්ථානයේ ප්‍රධාන ධුරය පුරප්පාඩු වුණේ. ඉන් පසුව මම එතැනට ගියා. ඊට පස්සේ මම යටතේ තමයි එතැන තිබුණු ක්‍රිකට් බුද්ධි මධ්‍යස්ථානය සහ කාන්තා ක්‍රිකට් ක්‍රියාත්මක වුණේ. එතැනදිත් මම උත්සහ කළේ හතුරුත් එක්ක එකතුවෙලා 2023 ලෝක කුසලානය සඳහා හොඳ සැලැස්මක් නිර්මාණය කරන්න. ඒක තමයි අපිට ගන්න ලේසිම ලෝක කුසලානය වෙන්නේ. මට ඕන වුණේ ලංකාව තවත් ලෝක කුසලානයක් ගන්නවා බලන්න. නමුත් කිසිම සැලැස්මක්, නිශ්චිත කාර්යභාරයක් නැතිව ඔහේ කාලය ගෙවුණා. මේ අවුරුද්දේ මුල ක්‍රිකට් බෝඩ් එකේ නිලවරණය පැවැත්වුණා. අලුත් පිරිසක් බලයට ආවා. මම හිතන්නේ ගොඩක් දේවල් වෙනස් වුණේ ඊට පස්සේ.’ ගුරුට අනුව ඉහත සමය වනවිට ක්‍රිකට් සඳහා වූ දේශපාලන මැදිහත්වීම උග්‍ර විය. කලින් කිසිම ක්‍රීඩා අමාත්‍යවරයෙක් යටතේවත් නොතිබුණු බලපෑම් ඔහු වෙත ගලා එන්නට විය. බැරිම තැන ඔහු සිය කොන්ත්‍රාත්තුව නිම වූ විගස ගෙදර යාමට සූදානම් විය. ඒ අනුව පසුගිය අගෝස්තුවේදී ගුරුසිංහ ‘රහසේම’ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් බලා පිටත් වූයේය. ‘අන්තිම මොහොතේ බෝඩ් එක තීරණය කරනවා මගේ කොන්ත්‍රාත්තුව තවත් අවුරුදු දෙකකින් දික් කරන්න. ඒකට ක්‍රිකට් විධායක කමිටුවේත් අනුමැතිය ලැබෙනවා. නමුත් ඒ වෙනකොට මම මගේ බෑග් පැක් කරලා ඔස්ට්‍රේලියා යන්න තීරණය කරලා ඉවරයි. ඊට පස්සේ මේ ඔක්කොම ඉවර වුණාට පස්සේ මම දැනගන්නවා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා සියලු තනතුරු නැවත පිරවීම සඳහා අණකළ බව. අවසාන වශයෙන් බැලුවාම මට තියෙන්නෙ කනගාටුවක්. විවිධ මැදිහත් වීම් හින්දා මට මගේ වැඩේ කරන්න ලැබුණේ නැහැ. නමුත් මේ පවතින තත්ත්වය වෙනස් වුණොත් මම ආයේ ලංකාවට එනවා. හැබැයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්නකම්නම් කවදාවත් නැහැ.’ රේවත එස්. සිල්වා
 

More News..