brand logo

ලංකාවට එබෝලා ඇවිත් නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

20 July 2019

එබෝලා වෛරසය මාරක වසංගතයක් ලෙස පැතිර යාම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළද, ශ්‍රී ලංකාවට එහි බලපෑමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. කොංගෝ රාජ්‍යයේ දැනට මෙම වෛරසය ශීඝ්‍ර ලෙස පැතිර යයි. 2018 වසරේ අගෝස්තු මස සිට කොංගෝ වැසියන් 1600ක් මෙම වෛරසයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. කොංගෝ රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අවම බැවින්, වෛරසය මෙරටට ඇතුළු වීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. නමුත්, කොංගෝ රාජ්‍යයේ සිට සංචාරකයෙක් පැමිණියේ නම් දැඩි සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් සූදානමින් සිටිති. මෙම වෛරසයට ගොදුරු වූ රෝගියකු හමු වුවහොත් ප්‍රතිකාර කි‍රීම සඳහා අයි.ඩී.එච්. පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයද සූදානම් කර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මෙම වෛරසය පැතිර යාමෙන් කොංගෝවේ මිලියන දෙකකට අධික ජනතාවක් දැඩි අවදානමකට ලක්ව සිටිති. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි රෝග තත්ත්වයක් හේතුවෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ පස්වන අවස්ථාව මෙයයි. මීට පෙර සීකා වෛරසය, කුරුලු උණ, පෝලියෝ යන රෝග වෙනුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. උදයජීව ඒකනායක
 

More News..