brand logo

ලංකාවට ආපු නිසා අපේ ජීවිතේ බේරුණා

29 June 2020

‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යයේ අවසාන කොටස අද (28)දින විකාශනය වන විට එහි අවසාන භාගයේ ඔබට සමීප වූ ‘නාලිකා’ සමග මොහොතක් කතා කරන්න සිතුණා. ඇය ශ්‍රීමාලි ෆොන්සේකා... කොහොමද ඔබ නාලිකා වෙන්නේ? මෙම නාට්‍යයේ සහාය අධ්‍යක්ෂ චමින්ද තමා මාව රොෂාන්ට හඳුන්වා දෙන්නේ. චමින්දයි, මමයි මීට ‘කලින් ඉස්සරහට යන්න’ නාට්‍යයේ එකට වැඩ කළා. ඔබ මීට කලින් රොෂාන්ව හඳුනාගෙන උන්නේ නැද්ද? රොෂාන් කියන්නේ මම වඩාත් ප්‍රිය කරන නළුවෙක්. ඔහු සමග වැඩ කරන්න හරිම කැමැත්තෙන් උන්නේ. අහම්බෙන් වගේ මට ඒ අවස්ථාව ලැබුණා. මෙම අත්දැකීම ඔබට දැනෙන්නේ කොහොමද? මට හිතාගන්න බැහැ මාව මේ චරිතයට තෝරාගැනීම ගැන. මොකද මම රංගනය ගැන මහා ලොකුවට හදාරපු කෙනෙක් නෙවේ. නමුත් ඕනෑම දේකට ඉක්මනින් හුරුවෙන්න මට පුළුවන්. රොෂාන් එක්ක වැඩ කරන එක හරිම පහසුයි. බොහෝ දේවල් මම ඉගෙන ගත්තා. ඔබ නවක නිළියක් නෙවේනේ? මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. නමුත් මෙවැනි චරිත මගේ ජීවිතේට අලුත්. ඒ නිසා මම තවමත් ඉගෙන ගන්නවා කියලා මට හිතෙනවා. පහුගිය කාලේ රංගනයෙන් ඉවත්වෙලාද උන්නේ? මම අවුරුද්දක් විතර ලංකාවේ උන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලංකාවේ ඉන්න එක එපාවුණා. අපේ පවුලම ඇමරිකාවට ගියා. ලංකාවට ආවේ පහුගිය පෙබරවාරි මාසේ. කොරෝනා ප්‍රශ්නය නිසා යන්න ලැබුණේ නැහැ. මේ දිනවල රඟපාන්නේ නාලිකාගේ චරිතය විතරද? නැහැ, ‘රාවණා’ එකේ ප්‍රධාන චරිතයකුත් නිරූපණය කරනවා. නාලිකාගේ චරිතය ඔබේ ජීවිතයට මොන තරම් සමීපද? සැබෑ ජීවිතේ මමයි, නාලිකයි කියන්නේ අහසට පොළොව වගේ. මම බොහෝම සරල කෙනෙක්, නාලිකාගේ චරිතය තුළ පමණයි බැරෑරුම් කෙනෙක් වුණේ. නාලිකා හිනා වෙන්නේ නැහැ, ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන වේදනාවෙන් ඉන්න කෙනෙක්. ශ්‍රීමාලි කියන්නේ සරල, සැහැල්ලු චරිතයක්. මෙහි කොටස් කීයකට ඔබ දායක වෙනවද? අවසාන කොටස් දහයට මම, මගේ රංගන දායකත්වය ලබාදෙනවා. ඔබ රඟපාපු කැමතිම චරිතය මොකක්ද? මගේ මුල්ම රංගනය ඉස්සරහට යන්න නාට්‍යයේ සුලෝචනාගේ චරිතයට කැමතියි. නාලිකාටත් ඒ වගේම කැමතියි. නාලිකා මත්පැන් බොන, දුම්පානය කරන චරිතයක්නේ. ඔබට මේ දේවල් ආගන්තුකද? මට මේ දේවල් ගොඩක් දුරස්. කොටින්ම සිගරැට් දුමක් දැනෙනකොටත් මට ඉන්න අපහසුයි. නාට්‍යය සඳහා භාවිත කළේ විශේෂිත ජෙල් එකක් දාපු දුම්වැටියක්. නමුත් මේ චරිතයට මම කැමතියි. මොකද සුදු චරිත රඟපාලා උන්න මාව වෙනස් විදිහකට දැක්කේ නාලිකා නිසා. බොහෝ දෙනෙක් අද මා ගැන කතා කරන්නේ නාලිකා කළු චරිතයක් වෙච්ච නිසා. ඔබ වෘත්තියෙන් රංගනයේ නියැළෙනවාද? නැහැ. පුංචි කාලේ ඉඳලම මගේ කැමැත්ත තිබුණේ රඟපාන්න. හැබැයි එය මගේ විනෝදාංශය කියන්න කැමති නැහැ. මොකද රංගනය වැනි කැපකිරීමක් කරන දෙයක් විනෝදාංශයක් කරගන්න බැහැ. කොහොම වුණත් රඟපෑම මගේ ජීවිතයේ තිබූ සිහිනයක් සැබෑවීමක්. ලංකාවට ආවේ කොරෝනා ප්‍රශ්නය නිසාද? මම ලංකාවට ආවේ පෙබරවාරි මාසේ. එතකොට ඇමරිකාවට කොරෝනා බලපාලා නැහැ. දුවගේ උපන් දිනේට ආවේ. නමුත් බලාගෙන ඉන්නකොට ප්‍රශ්නේ උග්‍ර වුණා. කරපු පෙර පින් නිසා තමා මේ මොහොතේ ලංකාවේ ඉන්න ලැබුණේ. ඔබ ලංකාවේ ප්‍රධාන රුපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගිය කෙනෙක්? සැලෝන් එක නතර කළා. මංගල උත්සව භාරගත්තාම ඒ අය මාවම හොයනවා. මගේ ඉදිරි ගමනට එය ප්‍රශ්නයක්. මම කැමති ලෝකේ වටේ ට්‍රැවල් කරන්න. ඉදිරි කාලේ මම කැමති දේ කරන්න ඕන නිසා සැලෝන් එක වෙනත් කෙනකුට භාරදුන්නා. ජීවත් වෙන්න රැකියාවක් අවශ්‍යයි නේද? මගේ මහත්තයාට ව්‍යාපාර තියෙනවා. මුළු ජීවිතයම සල්ලි නෙවේ. මට ඕනේ ඉදිරි කාලේ සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න. ලංකාවේ දිගටම ඉන්නවාද? දැනට ඉන්නවා. ලබන සතියේ ඉඳන් රූපවාහිනී නාළිකාවක නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. එන්න තියෙන ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්? දැනට මොකුත් නැහැ. ලබන සතියේ අලුත් නාට්‍යයක වැඩ භාරගන්නවා. කොහොමත් එක චරිතයයි භාරගන්නේ. මුළු ශක්තියම යොදවලා ඒ චරිතයේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරනවා. ඔබ රූප රාජිනියක්, ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ? මේ ගමන ආරම්භ වෙන්නේ එතැනින් තමයි. 2012 වර්ෂයේ මිසිස් ශ්‍රී ලංකා වුණා. 2012 වර්ෂයේ මිසිස් ඒෂියා. අවසානයේ 2018 අවුරුද්දේ මිසිස් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් (USA) තරගය ජයග්‍රහණය කළා. එතැනින් එහා මට යන්න තැනක් නැහැ. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..