brand logo

ලංකාපුර ආසාදිතයා නිරෝධනය නොවූවෙක්-325ක් PCR පරීක්‍ෂාවට

31 July 2020

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ(30)දිනයේ තහවුරු තහවුරු විය. එම ආසාදිතයා නිරෝධායන ක්‍රියාවට ලක් නොවී සිටි පුද්ගලයකු බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ඔහුගේ සමීප ආශ්‍රිතයකු වන අතර ඔහු ඇසුරු කළ ආශ‍්‍රිතයන් ප්‍රදේශ කිහිපයක විසිරී සිටින බව ද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය. මෙම පුද්ගලයා ප්‍රදේශයේ පොලිස් ස්ථානයට, බැංකුවකට, ආයුර්වේද රෝහලකට ආසන්න දිනවල දී ගොස් ඇති බව සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙලිවී ඇත. දින කිහිපයකට ඉහත පැවති අවමංගල උත්සවයකට සහභාගී වී ඇති මෙම පුද්ගලයා එහිදී කිහිප දෙනෙකු සමගින් එක්ව මත්පැන් පානය කර ඇත. එම සියලු ආශ්‍රිතයන් සොයා නිරෝධනය කරවීමට කටයුතු කරමින් සිටින බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය. එම ප්‍රදේශයේ පුද්ගලයන් 325කට පමණ කොරෝනා පරීක්ෂණ සිදුකරන අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ පිරිසක් මෙලෙස පරීක්ෂණ සඳහා යොදාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. කෙසේ නමුත් මේ අවස්ථාව වන තෙක්ම ලංකාපුර ප‍්‍රදේශීයේ සංචරණ සීමා පනවා නැතැයි ද ඔහු කියා සිටියේය. කොරෝනා පොකුරුවලින් ඇතිවන රෝගීන් රට තුළ යම් ස්ථානවලින් හමු වීමේ යම් සම්භාවිතාවක් ඇති නමුත් ඔවුන් හරහා රෝගය සමාජගත වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් කටයුතු කරන බවද ජාසිංහ මහතා කියා සිටියේය.
 

More News..