brand logo

ලංකන් ප්‍රිමියර් ලීග් තවත් ඈතට ගොස් ‘කොට’ වෙයි?

11 August 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් මේ මස 28 වැනිදා ආරම්භ වීමට දින නියම වී තිබෙන ලංකන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය එම දිනයේ ආරම්භ කිරීමට අපහසු තත්ත්වයක් උදා වී ඇති බවට ‘අරුණ’ට වාර්තා වේ. ශ්‍රී ලංකාවේ පවත්නා සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව අදාළ තරගාවලිය සඳහා සහභාගි වන විදෙස් ක්‍රීඩකයින් දින 14ක් නිරෝධායනය වීම අනිවාර්ය වේ. ඒ හේතුවෙන් නියමිත දිනට තරගාවලිය ආරම්භ කිරීමටනම් ඔවුන් අවම වශයෙන් අනිද්දා (13වැනිදා) වන විටවත් ලංකාවට පැමිණිය යුතුවේ. නමුත් තරගාවලිය හා එක්වන දෙස්, විදෙස් ක්‍රීඩකයින්ගේ වෙන්දේසිය මේ වන විටත් පවත්වා නොමැති වීම ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියමිත දිනට පැවැත්වීමට නොහැකි වීමේ සම්භාවිතාව තවදුරටත් පෙන්වා දෙනු ලබයි. මෙවර තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු සහභාගි කරගන්නා බවට මීට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නියෝජිතයෙක් ‘අරුණ’ වෙත ප්‍රකාශකර සිටියේය. එසේම අදාළ තරගාවලිය තවදුරටත් කල් තබනු ලබන්නේනම් එය සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ වෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලි සමය දක්වා යොමු වීම වැළැක්විය නොහැකි කාරණයක් වී තිබේ. අයි.පී.එල්. තරගාවලිය සැප්තැම්බර් 19 දා ආරම්භවන අතර ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 20 දා අවසන් වීමට නියමිතය. කෙසේ නමුත් ලොව අංක එකේ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වන අයි.පී.එල්. පැවැත්වෙන සමය දක්වා ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කල් තැබීමට සිදු වුවහොත් ඒ සඳහා ලොව පුරා විසිරී සිටින ප්‍රේක්ෂකයාගේ අවධානම ලබා ගැනීමේ ගැටලුව තරගාවලියේ ඉසව් සංවිධායක ආයතනය වන ඩුබායිහි ඉනොවටිව් ප්‍රඩක්ෂන් ගෲප් ආයතනයට මතුව තිබේ. එම කාරණාව සම්බන්ධයෙන් ඔවුන් වැඩි අවධානයක් යොමුකර තිබෙන අතර ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඊයේ වන විටත් එම ආයතනය සකච්ඡා මට්ටමේ සිටි බවට විශ්වාසවන්ත අරංචිමාර්ග සඳහන්කර සිටී. ඒ හේතුවෙන් ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කල් තැබීමට ලක් වුවත්, එය අයි.පී.එල්. ක්‍රිකට් සමය දක්වා නොගොස් එහි පැවැත්වීමට නියමිත තරග ගණනේ යම් අඩුවක් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවට වැඩිදුරටත් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසූයේ, තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදුවිය යුතු වැඩ කොටස අවසන් බවත්, ඉදිරි වැඩ කටයුතු සියල්ල තරගාවලියේ ඉසව් සංවිධායක ආයතනය වන ඉනොවටිව් ප්‍රඩක්ෂන් ගෲප් ආයතනය සිදු කරන බවත්ය. ගයාශාන් විතානආරච්චි
 

More News..