brand logo

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන්ට කෝටියත් ඉක්මවන ගෙවීම්

04 August 2020

ලබන 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකන් ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 10,000 සිට 60,000 දක්වා ආදායමක් ලැබීමට හැකියාවක් පවතින බව ‘අරුණ’ ට වාර්තා වේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,870,000 (දහඅට ලක්ෂ හැත්තෑදහසේ) සිට රුපියල් 11,220,000 (එක්කෝටි දොළොස් ලක්ෂ විසිදහසක්) දක්වා වූ මුදලක් බවට සඳහන් වේ. එහිදී ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 60,000ක මුදලක් ගෙවනු ලබන අතර ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉහළ පෙළේ ක්‍රීඩකයන්ට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 40,000ත් 50,000ත් අතර අගයක් (ආසන්න වශයෙන් රුපියල් 7,480,000 ත් 9,350,000 ත් අතර අගයක්) ලෙසින් දැක්වේ. ඊට අමතරව සෙසු ක්‍රීඩකයන් ඇමරිකානු ඩොලර් 30,000ත් 40,000ත් (ආසන්න වශයෙන් රුපියල් 5,610,000ත් 74,80,000 ත්) අතර සහ ඇමරිකානු ඩොලර් 10,000ත් 20,000ත් (ආසන්න වශයෙන් 1,870,000 ත් 3,740,000 ත්) අතර වශයෙන් කාණ්ඩ ගතකර තිබේ. අදාළ ගෙවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසීමේදී ‘අපි අයවැය සකස් කරලා තියෙනවා. ඒකේ ක්‍රීඩකයන්ට ගෙවීම් කෙරෙන කාණ්ඩ හතරක් විතර දැක්වෙනවා. ඒකට අනුව තමයි ඔවුන්ගේ ගෙවීම් සිදුවන්නේ. දැනට අපි ඒ කාර්යය සංවිධානය කිරීමට වෙනම ආයතනයකට භාරදීලා තියෙනවා ඔවුන් කණ්ඩායම් හිමිකරුවන් සමග සාකච්ඡා කරලා ඒ අයවැයට අනුව වැඩ කරයි.’ යනුවෙන් කියා සිටියේ. මෙවර තරගාවලිය සඳහා සහභාගි වන විදෙස් ක්‍රීඩකයන් පිළිබඳව විමසන ලදුව ‘විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡාවක් කරගෙන යනවා. ඊට පස්සේ අපි තීරණය කරනවා කොහොමද ඒක කරන්න පුළුවන් කියලා. කොහොමත් මේ වෙනකොට 125ක පමණ විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාවක් අපි ලැයිස්තුගත කරලා තියෙනවා එයින් 30 දෙනෙක්ට පමණ ලංකන් ප්‍රිමියර් ලීගයේ අවස්ථාව හිමිවෙයි’ යනුවෙන් ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය. තරග 23ක් ඇතුළත් මෙවර තරගාවලියට කොළඹ, නුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන කණ්ඩායම් ඇතුළත් වේ. ඒ එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් හය දෙනෙක්, දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් අට දෙනෙක් සහ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෙක් වශයෙන් ඇතුළත් වේ. තරගාවලියට අයත් තරග ඛෙත්තාරාම, සූරියවැව, පල්ලෙකැලේ සහ දඹුල්ල යන ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වේ. ගයාශාන් විතානආරච්චි
 

More News..