brand logo

ලංකන් ප්‍රිමියර් ලීගය මාලිංගගේ සහ උදානගේ අයි.පී.එල්. ගමන පමාකරයි?

31 July 2020

ලබන සැප්තැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර්හි පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්.) සඳහා සහභාගි වන ලසිත් මාලිංග සහ ඉසුරු උදානට අදාළ තරගාවලියේ මුල් තරග අහිමි වීමේ සම්භාවිතාවක් පවතින බවට වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) අවසන් මහා තරගය සැප්තැම්බර් 20 වැනිදාට යෙදී තිබීම මාලිංග සහ උදානට එසේ බලපෑමට ඉඩ තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියමයට අනුව කිසිදු ක්‍රීඩකයෙකුට ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන අතරවාරයේදී ඉන් ඉවත්ව අයි.පී.එල්. හෝ වෙනත් තරගාවලියක් සඳහා සහභාගි වීමට නොහැකි බව දැක්වේ. එසේම මාලිංගට සහ උදානට එක්සත් අරාබි එමීර්හිදී පැය 72ක කාලයක් නිරෝධායනය වීමද අනිවාර්ය වී තිබේ. ඒ හේතුවෙන් සිය කණ්ඩායම් හා එක්වීමට මත්තෙන් අවම වශයෙන් ඔවුන්ට තරගාවලියේ මුල් දින 7ක් හෝ 8ක් මගහැරෙන බවට ඉන්දීය මාධ්‍ය ද සඳහන්කර සිටියේය. මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරමින් තරගාවලියට එක්වීමට නියමිත අතර උදාන, විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලිය හා එක්වේ. මීට අමතරව තරගාවලිය සඳහා සහභාගි වන ඔස්ට්‍රේලියානු සහ එංගලන්ත ක්‍රීඩකයන්ගේ ද සහභාගිත්වයේ සතියක පමණ ප්‍රමාදයක් සිදුවන බවට ද වාර්තා වේ. ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වෙන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගි වන සියලුම ක්‍රීඩකයන්ව සති දෙකක් තුළ කොරෝනා පරීක්ෂණ 4කට යොමු කිරීමට තරගාවලි සංවිධායකයන් තීරණය කර තිබේ. ගයාශාන් විතානආරච්චි
 

More News..