brand logo

ලංකන් ප්‍රිමියර් ලීගයට දින නියම වෙයි

02 June 2020

‘ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය වෙනුවට වසර 8කට පසුව පැවැත්වෙන ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු මස 15 වැනිදා සිට සැප්තැම්බර් මස 04 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබේ. කණ්ඩායම් පහකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් හය දෙනා බැගින් ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව කණ්ඩායමකට ඇතුළත් මුළු ක්‍රීඩකයන් සංඛ්‍යාව 16ක් වන අතර ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනාද ඇතුළුව කණ්ඩායමේ කාර්යමණ්ඩලය උපරිම 10ක් විය යුතු බව සඳහන්ය. අදාළ පුහුණුකරුවන් ජාත්‍යන්තර අත්දැකීම් වලින් සමන්විත වූවන් විය යුතු අතර ඔවුන් අවම වශයෙන් ලීග් ක්‍රිකට් තරගයක හෝ පුහුණුකරු ධුරය හොබවා තිබීම අනිවාර්ය වී තිබේ. තරග 23 කින් සමන්විත මෙවර ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වේ. තරගාවලියට අයත් තරග කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ, රංගිරි දඹුල්ල සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණ ප්‍රධානකොට ගනිමින් පැවැත්වීමට නියමිතය. තරග විනිශ්චය කිරීමේ කටයුතු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් 6 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා විනිසුරුවන් සිව් දෙනෙක්ද ඇතුළත්ය. මෙම තරගාවලිය ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට හැකිවේදැයි ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසීමේදී එම කාලයේ පවත්නා තත්ත්වය අනුව එය තීරණය වනු ඇති බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඈෂ්ලි ද සිල්වා ‘ලංකාවේ සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශ අනුව තමයි සෑම කටයුත්තක්ම සිදු වන්නේ. අපි විකාශන අයිතිය ගත්තාට පසුවයි විදෙස් ක්‍රීඩකයන්ට ලංසු තැබීම සිදු වන්නේ’ යි යනුවෙන් කීවේය. පසුගිය මැයි මස 4 වැනිදා ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාකච්ඡාවක් පැවැති අතර එහිදී තරගාවලිය සඳහා වන අයවැය සම්බන්ධයෙන්ද සාකච්ඡාකොට තිබිණි. මීට වසර අටකට පෙර එනම් 2012 වසරේ මුල් වරට ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ විය. කණ්ඩායම් හතකගේ සහභාගිත්වයෙන් පැවැති එම ආරම්භක තරගාවලියේ ජය ඌව නෙක්ස්ට් කණ්ඩායම සතු විය. ආරම්භක තරගාවලියෙන් වසර 7කට පසුව ඉකුත් 2019 වසරේදී මෙම තරගාවලිය පැවැත්වීමට නැවත වරක් යෝජනා විය. එම තරගාවලි අධ්‍යක්ෂ වශයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම ප්‍රවීණ විස්තර විචාරක රසල් ආනල්ඩ්ව ලක්ෂ 15ක වැටුපක් සහිතව පත් කිරීමටද සූදානමින් සිටියේය. රසල් ආනල්ඩ්ව නැවතත් අදාළ තනතුර සඳහා පත් කර ගන්නේද යනුවෙන් ඈෂ්ලි ද සිල්වාගෙන් විමසීමේදී, මෙවරත් තරගාවලි අධ්‍යක්ෂවරයෙක් පත්කරන බවත්, එය ඉදිරියේදී තීරණය වන බවත්, ප්‍රකාශකර සිටියේය. ගයාශාන් විතානආරච්චි
 

More News..