brand logo

රෝහිතගේ පුංචි පුතුට ගැයූ ගීතය...

26 May 2020

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රතිචාර ලබමින් සැරිසරන රෝහිත රාජපක්ෂ ගායනා කරන පුංචි පුතු මගේ කියන ගීතයේ සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ ජනප්‍රිය ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙක් වන රදිෂ් වැන්දබෝනා. මේ ගීතය නිර්මාණය වුණේ කොහොමද? අපි ඒ ගැන කතා කරන්න පිනිපලසට රදිෂ්ව සම්බන්ධ කර ගත්තා. කොහොමද මේ පුංචි පුතු මගේ ගීතය නිර්මාණය වෙන්නේ? මම මෙලඩි එකක් කරලා රෝහිත රාජපක්ෂට යවනවා. අපි මේකට සිංදුවක් කරමු කියලා. එතකොට රෝහිත තමා කියන්නේ එහෙනම් අපි පුතා වෙනුවෙන් සින්දුවක් කරමු කියලා. එහෙම තමා මේක නිර්මාණය වෙන්නේ. මේක ලියන්නේ... සින්දුව ලියන්නේ මාලිනි ලියනගේ. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ කියන ගීතය ලිව්වෙත් ඇය. ඉතින් මේ මෙලඩි එකත් ඇයට දෙමු කියලා තමා රෝහිත කිව්වේ. ඒ අනුව තමා ඇය මේ පුංචි පුතු මගේ ගීතය ලිව්වේ. රෝහිත රාජපක්ෂ කියන්නේ සමීප මිතුරෙක්ද? දීර්ඝකාලීන හිතවත්කමක් නැහැ. නමුත් දැන් අපි එකට වැඩ කරන නිසා ඉතා හොඳ සමීප මිතුදමක් තියෙනවා. කලින් රෝහිත එක්ක ගීත කියක් කරලා තියෙනවද? ‘සිහිනෙක’ සහ ‘රහසේ’ කියන ගීත දෙක කරලා තියෙනවා. මේ අලුත් ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා වගේ? ඔව්, ඇත්තටම. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පවා ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඉතින් සතුටක් දැනෙනවා. අනිත් අතට ගොඩක් විරහ ගීතම නිර්මාණය වෙන කාලයක තාත්තා කෙනෙක් පුතුට කියන අපූරු ගීතයක් නිසා ගොඩක් අය මේ ගීතය ඉක්මනින් වැලඳ ගත්තා. මේ වෙද්දි රදිෂ්ගේ අනෙකුත් කටයුතු කොහොමද වෙන්නේ? වැඩියෙන්ම නම් මම දැන් කාලය යොදවන්න හිතුවේ චිත්‍රපට නිෂ්පාදනයට. මේ ඇතිවූ හදසි වසංගත තත්ත්වය නිසා පොඩ්ඩක් ඒ කටයුතු අතරමග නතර කළා. ඇයි සංගීතය අතහැරලා සිනමාවට එන්න හිතුවේ? එහෙම නැහැ ඉතින්. කාලෙන් කාලෙට යම් යම් ක්ෂේත්‍රවල කඩාවැටීම් තියෙනවා. ඉස්සරහට යම් කිසි මුදලක් උපයාගන්න බැරි නම් ගොඩක් අය සින්දු කරගන්න එන්නේ නැහැ. ඒ නිසා වෙන ක්ෂේත්‍රයකටත් සම්බන්ධ වෙලා ඉස්සරහට යන එක හොඳයි. රදිෂ් ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක්ද? ගීත කීයක් නිර්මාණය කරලා තියෙනවද? මම එන්නේ 2008 වර්ෂයේ. ඒ කියන්නේ දැන් අවුරුදු 12ක් වෙනවා. මේ කාලය තුළ ප්‍රවීණ අයට වගේම නවක අයට ගීත 150ක් විතර නිර්මාණය කරලා තියෙනවා. මොකද හිතෙන්නේ ආ ගමන ගැන? මම බොහොම සාමන්‍ය පවුලක සාමාන්‍ය විදියට හැදුණ කෙනෙක්. ඉතින් මම කරපු නිර්මාණ හරහා මම ජනප්‍රිය කෙනෙක් බවට පත්වෙනවා. එක ගීතයක් දෙකක් නෙවෙයි මම කරපු හැම ගීතයක්ම වගේ මම කළේ ඉතා සතුටින්. විවිධ ආකාරයේ ගීත මම නිර්මාණය කරලා තියෙනවා. ඒවාට ලැබුණු රසික ආදරය ගැන ඉතින් මට සන්තෝෂයි. මේ ගෙවුණු වසර 12 ගැන සැහීමකට පත්වෙනවද? සැහීමකට පත්වෙනවා සහ දුකටත් පත්වෙනවා. මේ ක්ෂේත්‍රය තුළ කැපිලි කෙටිලි වැඩියි. හැබැයි මගේ නිර්මාණ එක්ක රසික රසිකාවියන් හිටිය නිසා ඒ හයිය තමා මට තිබ්බේ මේක ඉස්සරහට කරගෙන යන්න. රදිෂ්ගේ පවුලේ විස්තර? අම්මයි, තාත්තයි, මමයි ඉන්නේ. අම්මා ගුරුවරියක්. දැන් විශ්‍රාම අරගෙන ඉන්නේ. තාත්තා ව්‍යාපාර කටයුතු කළේ. දැන් නම් තාත්තත් විශ්‍රාම සුවෙන් ඉන්නවා. මගේ තාත්තටත් සංගීත හැකියාවන් තියෙනවා. ඒ කාලේ ගිටාර් වාදකයකු විදියටත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ජෝතිපාල මහතා, මිල්ටන් මල්ලවආරච්චි මහතා වගේ අය එක්ක සමීපව ඇසුරු කරන්නත් වැඩ කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. මගේ අම්මත් ගුවන් විදුලියේ A ශ්‍රේණියේ ගායිකාවක්. නමුත් ඒ අය ඒවා දිගින් දිගටම කරගෙන ඇවිත් නැහැ. මම විශ්වාස කරනවා ඒ ආභාසය ඒ උරුමය තමා මට ලැබෙන්න ඇත්තේ කියලා. ඉදිරි බලාපොරොත්තු මොනවද? හොඳ නිර්මාණ කරන්න තමා කැමති. කවදා හරි මේ මම කරපු නිර්මාණයක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් නිර්මාණ කරන්න තමා ඉදිරියේදීත් බලාපොරොත්තුව. අනුෂා රණසිංහ   https://youtu.be/JAFfIkY-gqY
 

More News..