brand logo

රෝහලෙන් ගෙන ගිය සිරුර යළි රෝහලට

01 October 2020

කළුතර මහ රෝහලේදී මියගිය 80 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් මල්ශාලාවක් වෙත ගෙන ගොස් තිබියදී එම මරණය පහරදීමකින් සිදුවූවක් බවට සැකයක් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරු මත එම දේහය මතුගම පොලිසිය විසින් නැවත කළුතර මහ රෝහලේ මෘතශරීරාගාරයට ගෙන ගොස් තිබේ. ඉකුත් 27 වැනිදා තම නිවසේදී රෝගී වීමෙන් පසු රෝහල්ගත කරන ලදුව මෙසේ මියගොස් ඇත්තේ මතුගම, මද්දෙගෙදර පාරේ පදිංචිව සිටි තැනැත්තියකි. කළුතර තොටමුණ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මේ පිළිබඳව කළ හදිසි මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන් මළසිරුර මල්ශාලාව වෙත ගෙනගොස් තිබූ අතර මරණය පිළිබඳව සැකයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කිසිවකු පැමිණිලි කර ඇත්තේ ඒ අතරතුරය. ඉන්පසු කළුතර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා මළසිරුර නිරීක්ෂණය කර දෙන ලද නියෝගය අනුව 29 වැනිදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කළුතර මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙම මරණය හෘදය වස්තුවේ පිපිරීමකින් සිදුවූ මරණයක් බවත්, පහරදීමකින් සිදුවූවක් නොවන බවත් වාර්තා කර තිබිණි. සුජිත් මාරියෝ-පයාගල
 

More News..