brand logo

රෝහල් සියයක් ඉදිරිපිට කෑම පැයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක්

28 July 2021

  හෙද සේවාවේ එකදු ඉල්ලීමකටවත් අවසාන විසඳුමක් මෙතෙක් ලබානොදීමට එරෙහිව දිවයින පුරා රෝහල් සියයක් ඉදිරිපිට හෙද කාර්ය මණ්ඩලය අද (28 වැනිදා) උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ ඉල්ලීම් නවයක් මුල්කරගත් වැඩවර්ජනයට දින 25ක් ගත වුවද මෙතෙක් එම ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි. එම ඉල්ලීම් නවයෙන් දෙකක් වන උසස්වීම් සහ මාණ්ඩලික සේවාවලට අදාළව කැබිනට් පත්‍රිකා අනුමත වුවද අද වනතුරු සෞඛ්‍ය අමාත්‍යංශ ඒ සඳහා කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි. එම නිසා එයට විරෝධය පළකරමින් අද (28 වැනිදා) දහවල් 12 සිට 1 දක්වා කාලයේ තෝරාගත් රෝහල් සියයක් ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කළේය. අද (28 වැනිදා) දවසේදීත් මෙයට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ ගැසට් පත්‍ර නිකුත් කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරි සතියට පසු දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මෙහිදී අවධාරණය කළේය. වරුණි පෙරමුණ
 

More News..