brand logo

රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

09 June 2021

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (09) සිය උදෑසන රාජකාරි වලින් ඉවත් විය. අද පෙරවරු 8.00 ආරම්භ වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක වූ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කරයි. කෙසේ නමුත් රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල , මහරගම අපේක්ෂා රෝහල සහ මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වී නොමැත. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු වී තිබෙන්නේ අනියම් ආදේශන සේවකයින් ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙයි. මේ අතර ස්ථාන මාරු ලබා නොදීම, සේවකයින් ස්ථිර නොකිරීම, ප්‍රවාහන ගාස්තු ලබා නොදීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාගම ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ද වැඩ වර්ජනයේ නිරත විය. එය සංවිධානය කර තිබෙන්නේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසිනි. තවද කෑගල්ල මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මෙන්ම කළුතර, නාගොඩ මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ද වැඩ වර්ජනයට එක්ව සිට ඇත . මේ අතර ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ද අද පැවැත්විණි.
 

More News..