brand logo

රෝහණ රාජධානියේ සුවිසල් ස්ථූපයක කැණීම් ඇරඹේ

19 May 2019

ඉපැරණි රෝහණ රාජධානියට අයත්, නටබුන්ව ඇති තවත් සුවිසල් ස්ථූපයක් කැණීම්කර පාදා ගැනීමේ කටයුතු අද (19 වැනිදා) පෙරවරුවේ තිස්සමහාරාමයේ දී ආරම්භ කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මහාචාර්ය සුමනසිරි වාව්වගේ ‘‘සති අග අරුණ’ට ප්‍රකාශ කළේ ය. නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කැණීම් කටයුතු ආරම්භ කෙරෙන බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් කැණීම් කටයුතු සිදුවන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. කැණීම් කරන්නට යන චෛත්‍යය පිහිටා ඇත්තේ තිස්සමහාරාම දාගැබ සහ යඨාල චෛත්‍යය අතර, වෙල්යායක් ආශ්‍රිත ඕවිටක් බඳු භූමියකය. එම භූමියෙහි නිවාස කිහිපයක්ද පැවති බවත්, එයින් ස්ථූපයේ නටබුන්වලට යම් යම් හානි සිදු වී ඇති බවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීහු සඳහන් කරති. දැනට විශ්වාස කරන අන්දමට, මෙම ස්ථූපය රුහුණේ කාවන්තිස්ස රජ සමයට (ක්‍රි. පූ. 03 වැනි සියවස) අයත්ය. කැණීම්වලින් පසුව එම ස්ථූපය සංරක්ෂණය කර මහජනතාවට විවෘත කෙරෙන බවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීහු සඳහන් කළහ. ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
 

More News..